
නවසීලන්තයේ පහළ උතුරු දූපතේ (Lower North Island) ජනතාවට දැඩි අනතුරු ඇඟවීමක් නිකුත් කරමින්, ජල ගැලීම් අවදානමට ලක්විය හැකි පහත් ප්‍රදේශවල සිටින සියලුම ජනතාවට වහාම ආරක්ෂිත ස්ථාන වෙත ගමන් කරන ලෙස බලධාරීන් ඉල්ලා සිටී. අඛණ්ඩව වැසි පතිත වීම හේතුවෙන් ගංවතුර තත්ත්වය තවදුරටත් භයානක ලෙස වර්ධනය වෙමින් පවතී.
වෙලින්ටන් නගරය මේ අවස්ථාවේ වැඩිම බලපෑමට ලක්ව ඇති ප්‍රදේශ අතරට අයත් වන අතර, කෙටි කාලයක් තුළ අතිශයින් වැඩි වර්ෂාපතනයක් වාර්තා වී තිබේ. පැයකට අඩු කාලයකදී මිලිමීටර් 70 කට වැඩි වැසි ප්‍රමාණයක් වැටීම නිසා හදිසි ගංවතුර තත්ත්වයක් ඇතිවී ඇත. මේ නිසා මාර්ග ගණනාවක් ජලයෙන් වැසී ගොස්, ගස් වැටීම් සහ පස් කඩාවැටීම් වාර්තා වී තිබේ.
ආපදා කළමනාකරණ අංශ සහ හදිසි සේවා කණ්ඩායම් මේ වනවිට සිද්ධීන් 150කට අධික ප්‍රමාණයකට ප්‍රතිචාර දක්වා ඇති අතර, ගෙවල් ජලයෙන් යටවීම, මාර්ග අවහිර වීම සහ පස් කඩා වැටීම් වැනි සිද්ධීන් එයට ඇතුළත් වේ. සමහර පවුල්වලට මධ්‍යම රාත්‍රියේම නිවාස අත්හැර යාමට සිදු වූ අතර, කරෝරි ප්‍රදේශයේ පුද්ගලයෙකු අතුරුදහන් වී ඇති බවටද වාර්තා වේ.
ඇතිව ඇති තත්ත්වය සැලකිල්ලට ගනිමින්, වෙලින්ටන් කලාප ආපදා කළමනාකරණ කාර්යාලය ජනතාවට අවම වශයෙන් පැය 24ක් උස් භූමියකට ගමන් කරන ලෙසට උපදෙස් ලබාදී තිබේ. තවද, ඉදිරි දිනවලදී තවදුරටත් වැසි ඇතිවිය හැකි බවට අනතුරු ඇඟවීම්ද නිකුත් කර ඇත.
මෙම තත්ත්වය තවදුරටත් වර්ධනය විය හැකි බැවින්, ජනතාවට අනවශ්‍ය ගමන් වලින් වලකින්න සහ බලධාරීන්ගේ උපදෙස් පිළිපදින්නැයි දැඩි ලෙස ඉල්ලා සිටී. මීට පෙර ඇතිවූ අවපීඩන තත්ත්වයන් හේතුවෙන් පොළොව දැනටමත් තෙතමනයෙන් පිරී ඇති බැවින් ගංවතුර අවදානම වඩාත් ඉහළ ගොස් ඇත.
මෙම තත්ත්වය තවමත් භයානක ලෙස පවතින බැවින්, ඔබේ ආරක්ෂාව ප්රමුඛ කරගෙන කාලෝචිත තීරණ ගන්නා ලෙස බලධාරීන් නැවතත් අවධාරණය කරයි.

0 Comments