
අනාගතයේදී ඇතිවිය හැකි ඉන්ධන හිඟයකදී හෝ තෙල් මිල අධික ලෙස ඉහළ යන අවස්ථාවලදී රටේ සෞඛ්‍ය සේවාව අඩාල නොවී අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා නවසීලන්ත රජය සුවිශේෂී සැලසුමක් සකස් කර තිබේ. “Fuel Response Plan” නමින් හඳුන්වන මෙහි ප්‍රධාන අංගයක් වන්නේ රෝගීන් සහ වෛද්‍යවරුන් මුහුණට මුහුණ හමු නොවී, දුරකථන හෝ වීඩියෝ තාක්ෂණය හරහා උපදෙස් ලබා දීම (Telehealth) නිල වශයෙන් ක්‍රියාත්මක කිරීමයි.
මෙමඟින් රෝගීන්ට මෙන්ම රෝහල් කාර්ය මණ්ඩලයට ද අනවශ්‍ය ලෙස ගමන් බිමන් යාමට වැය වන ඉන්ධන ඉතිරි කර ගත හැකි අතර, එම ඉතිරි වන ඉන්ධන ගිලන් රථ සහ අත්‍යවශ්‍ය හදිසි සේවා සඳහා ප්‍රමුඛතාවය මත ලබා දීමට රජය බලාපොරොත්තු වේ. කොරෝනා සමයේදී ලබාගත් අත්දැකීම් ඇසුරින් සකස් කළ මෙම නව ක්‍රමය හරහා, සාමාන්‍ය පරීක්ෂාවන් සඳහා රෝහල් වෙත පැමිණීම අවම කරමින් තාක්ෂණය ඔස්සේ නිවසේ සිටම ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් ලබා ගැනීමට දැන් මඟ පෑදී ඇත.
මෙම නව පියවර නිසා ඉදිරියේදී ඇතිවිය හැකි ඕනෑම හදිසි තත්වයකදී වුවද, තම රථවාහනයට තෙල් නොමැති වුවත් වෛද්‍ය සේවාව ලබා ගැනීමට රෝගීන්ට තිබූ බාධාවන් ඉවත් වනු ඇත. මෙය නවසීලන්ත සෞඛ්‍ය ක්ෂේත්‍රයේ නව යුගයක ආරම්භයකි.

0 Comments