
ඉන්දුනීසියාවේ ජෝග්ජාකර්තා නුවර පිහිටි පෞද්ගලික ළමා සුරැකුම් මධ්‍යස්ථානයක් තුළ සිදුවූ අතිශය කම්පන සහගත පුවතක් මේ වන විට මුළු ලොවම කැළඹීමට පත් කර තිබේ. එහි රඳවා සිටි මාස කිහිපයක් වයසැති බිළිඳුන්ගේ සහ කුඩා දරුවන්ගේ දෑත් සහ දෙපා රෙදි කැබලිවලින් තදින් ගැටගසා, ඔවුන්ට දරුණු ලෙස වධහිංසා පමුණුවා ඇති බව අනාවරණය වී ඇත.
මෙම බිහිසුණු අපරාධය හෙළිවූයේ එම මධ්‍යස්ථානයේ සේවය කළ හිටපු සේවකයෙකු විසින් පොලිසියට ලබාදුන් රහසිගත තොරතුරක් සහ පසුව සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වූ CCTV දර්ශන පෙළක් මගිනි. එහිදී කුඩා බිළිඳුන් සිරුර වැසීමට ඇඳුමක් හෝ නොමැතිව, සීතල පොළොව මත දෑත් දෙපා බැඳ දමා සිටින අයුරු දැකගත හැකිය.
පසුගිය සිකුරාදා (අප්‍රේල් 24) පොලිසිය විසින් ‘Little Aresha’ නම් මෙම මධ්‍යස්ථානය වටලන ලද අතර, එහිදී දරුවන් 53 දෙනෙකු පමණ මෙලෙස වධහිංසාවට සහ නොසලකා හැරීමට ලක්ව ඇති බව සොයා ගැනුණි. අඩි 10×10 ක පමණ කුඩා කාමරයක් තුළ දරුවන් 20 දෙනෙකු පමණ සිරකර සිටි බවද වාර්තා වේ.
මෙම සිදුවීමට සම්බන්ධ සැකකරුවන් 13 දෙනෙකු මේ වන විට අත්අඩංගුවට ගෙන ඇත. ඒ අතර:
- මධ්‍යස්ථානයේ ප්‍රධානියා සහ විදුහල්පතිවරයා.
- ළමා සුරැකුම් සේවිකාවන් 11 දෙනෙකු වේ.
පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ සැකකරුවන් පවසා ඇත්තේ මධ්‍යස්ථානයේ සේවකයින් හිඟ වීම නිසාත්, දරුවන් පාලනය කර ගැනීමට අපහසු වීම නිසාත් ඔවුන්ව මෙලෙස ගැටගසා තැබූ බවයි. කෙසේ වෙතත්, මෙය මානව හිමිකම් සහ ළමා ආරක්ෂණ නීති බරපතල ලෙස උල්ලංඝනය කිරීමක් බව බලධාරීහු පවසති.
වැඩිදුර පරීක්ෂණවලදී හෙළිවී ඇත්තේ මෙම ආයතනය වසරකට වැඩි කාලයක් කිසිදු නීත්‍යානුකූල බලපත්‍රයක් නොමැතිව පවත්වාගෙන ගොස් ඇති බවයි.
වින්දිත දරුවන්ගේ දෙමාපියන් පවසන්නේ තම දරුවන් නිතර නිතර රෝගී වූ බවත්, ඔවුන්ගේ සිරුරු මත තැලීම් සලකුණු තිබූ බවත්ය. දැනට අත්අඩංගුවේ පසුවන සැකකරුවන්ට වසර 8ක් දක්වා සිරදඬුවම් නියම වීමට ඉඩ පවතින අතර, දරුවන් සඳහා මානසික ප්‍රතිකාර ලබාදීමට ඉන්දුනීසියානු රජය පියවර ගෙන ඇත.
හය හතර නොදත් අහිංසක දරුවන්ට මෙවැනි වදහිංසා දෙන තිරිසනුන්ට නියම විය යුතු දඩුවම කුමක්ද?

0 Comments