← BACKCrime

නවසීලන්තයේ සුප්‍රසිද්ධ පල්ලියක් කළ ලිංගික අපයෝජන විමර්ශනයක් වින්දිතයන් විසින්ම හෙළා දකියි!

BY DhanushPUBLISHED JUNE 3, 20261 MIN READ0 COMMENTS

නවසීලන්තයේ සුප්‍රසිද්ධ ‘Equippers Church’ නමැති දැවැන්ත දේවස්ථානය, එහි සිදුවූ බව කියන ලිංගික අපයෝජන සිදුවීම් සම්බන්ධයෙන් සිදුකළ ස්වාධීන අභ්‍යන්තර විමර්ශනයේදී කිසිදු වින්දිතයෙකුගෙන් කටඋත්තරයක් ලබාගෙන නොමැති බව හෙළිවීමත් සමඟ එරට මහජනතාවගේ දැඩි දෝෂාරෝපණයට ලක්ව තිබේ.

පල්ලියේ සාමාජිකයන් අතින් දරුණු ලෙස ලිංගික අතවරයන්ට සහ අපයෝජනයන්ට ලක්වූ කාන්තාවන් තිදෙනෙකු වන රබියා (Rabea), මාරි (Maree) සහ මායියා (Māia) මීට පෙර මාධ්‍ය වෙත කරුණු අනාවරණය කිරීමෙන් පසු මෙම විමර්ශනය ආරම්භ විය. එහිදී පල්ලිය පොරොන්දු වූයේ මෙය “වින්දිතයන් කේන්ද්‍ර කරගත්” සාධාරණ පරීක්ෂණයක් වනු ඇති බවයි. කෙසේ වෙතත්, වාර්තාව අවසන් වනතුරුත් තමන්ගෙන් කිසිදු කරුණක් විමසා නැති බව වින්දිතයන් පවසයි.

වින්දිතයන් විසින් මෙම විමර්ශනය හඳුන්වා දී ඇත්තේ තමන්ට යුක්තිය ඉටු කිරීමට නොව, පල්ලියේ නම බේරාගැනීම සඳහා සිදුකරන ලද “කූට ප්‍රචාරක උපක්‍රමයක්” ලෙසයි. වයස අවුරුදු 15 සහ 16 වැනි බාලවයස්කාර වියේදී තමන් මුහුණ දුන් කටුක අත්දැකීම් සහ ඉන්පසු පල්ලියේ බලධාරීන් විසින් තම පැමිණිලි නොසලකා හැර සමාජයෙන් කොන් කළ ආකාරය ඔවුහු පෙන්වා දෙති. වින්දිතයන් පවසන්නේ තමන් සම්බන්ධ කර නොගෙන සිදුකරන විමර්ශනයකින් කිසිදු වගවීමක් බලාපොරොත්තු විය නොහැකි බවයි.

මේ පිළිබඳව පල්ලියේ ප්‍රකාශකයාගෙන් විමසූ විට ඔහු පවසා ඇත්තේ, මෙය තනි පුද්ගල පැමිණිලි විභාග කිරීම සඳහා නොව, පල්ලියේ පාලන පද්ධතියේ ලේඛන පරීක්ෂා කිරීම සඳහා පමණක් වෙන්වූ අභ්‍යන්තර විගණනයක් බවයි. එමෙන්ම මෙම අභ්‍යන්තර වාර්තාව මහජනතාවට ප්‍රසිද්ධ නොකරන බවද පල්ලිය පවසා ඇත. මේ හේතුවෙන් කෝපයට පත් වින්දිතයන්, පල්ලියෙන් බැහැර පූර්ණ ස්වාධීන බාහිර පරීක්ෂණයක් සහ පල්ලිය විසින් තමන්ගෙන් ප්‍රසිද්ධියේ සමාව ගත යුතු බවට දැඩිව බලකර සිටියි.

0 Comments

Leave a Reply

Your email address will not be published.Required fields are marked *