
අතීතයේදී වසර 100කට වරක් පමණක් දැකගත හැකි වූ මහා පරිමාණයේ වෙරළබඩ ගංවතුර තත්ත්වයන්, නවසීලන්තයේ වෙලින්ටන් අගනුවරට දැන් වසරකට දෙවතාවක් පමණ අත්විඳීමට සිදුවන බව අලුත්ම පර්යේෂණයකින් හෙළි වී තිබේ. Nature Climate Change සඟරාවේ පළ වූ මෙම ජාත්‍යන්තර අධ්‍යයනයට අනුව, මානව ක්‍රියාකාරකම් හේතුවෙන් සිදුවන දේශගුණික විපර්යාස මෙම දරුණු තත්ත්වයට සෘජුවම වගකිව යුතුය.
🔴 සංඛ්‍යාලේඛන පෙන්වන බියකරු සත්‍ය.
පර්යේෂකයන් විසින් වර්ෂ 1900 සිට 2005 දක්වා කාලය තුළ ලොව පුරා වෙරළබඩ ස්ථාන 130ක දත්ත සහ දේශගුණික ආකෘති (climate simulations) සමීපව විශ්ලේෂණය කර ඇත. පසුගිය සියවස තුළ ගෝලීය වශයෙන් මුහුදු මට්ටම සෙන්ටිමීටර 20කින් පමණ ඉහළ ගොස් ඇති අතර, එමඟින් ලෝකයේ බොහෝ ප්‍රදේශවල ගංවතුර අවදානම 10 ගුණයකින් වැඩි වී තිබේ. කෙසේ වෙතත්, වෙලින්ටන් නගරය ගෝලීය සාමාන්‍ය අගයද අභිබවා යමින් සුවිශේෂී අවදානමකට ලක්ව ඇති බව මෙහිදී අනාවරණය විය.
🔴 වෙලින්ටන් මෙතරම් අනතුරක වැටුණේ ඇයි?
වයිකාටෝ විශ්වවිද්‍යාලයේ පර්යේෂණ නිලධාරී ඩොක්ටර් Dr. Rob Bell පෙන්වා දෙන්නේ, වෙලින්ටන් ස්වභාවික පිහිටීම මෙයට ප්‍රධාන හේතුවක් බවයි. වෙලින්ටන්හි සාමාන්‍ය වඩදිය බාදිය පරාසය ඉතා කුඩාය. එමෙන්ම නිවර්තන සුළි කුණාටු සෘජුවම බලනොපාන බැවින් සාමාන්‍ය මුහුදු රළ මට්ටම සහ කුණාටු රළ මට්ටම අතර වෙනසද ඉතා අඩුය. මේ නිසා, ගෝලීය උණුසුම නිසා මුහුදු මට්ටම සුළු ප්‍රමාණයකින් ඉහළ යාම සහ දේශීයව භූමිය ගිලා බැසීම වැනි කුඩා වෙනස්වීමකදී වුවද, මුහුදු ජලය ඉතා පහසුවෙන් නගරය දෙසට ගලා ඒමේ ප්‍රවණතාව ශීඝ්‍රයෙන් වැඩි වේ.
🔴 අනාවැකි නොව දැනටමත් සිදුවන යථාර්ථයක්.
මෙම පර්යේෂණ වාර්තාව නිකුත් වීමට දින කිහිපයකට පෙරද වෙලින්ටන්හි දකුණු වෙරළ තීරයට සහ Wairarapa ප්‍රදේශයට බලපෑ දරුණු මුහුදු රළ හේතුවෙන් හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීමට පවා බලධාරීන්ට සිදුවිය. මින් පැහැදිලි වන්නේ මෙය හුදෙක් අනාගතය පිළිබඳ විද්‍යාත්මක අනාවැකියක් පමණක් නොව, වැසියන් දැනටමත් ප්‍රායෝගිකව මුහුණ දෙන කටුක යථාර්ථයක් බවයි.
වික්ටෝරියා විශ්වවිද්‍යාලයේ දේශගුණ විද්‍යාඥ Professor James Renwick පවසන්නේ 20 වැනි සියවසේ පැවති දත්ත මත පදනම්ව ඉදි කළ යටිතල පහසුකම් සැලසුම් දැන් සහමුලින්ම යල් පැන ගොස් ඇති බවයි. මුහුදු මට්ටම අඛණ්ඩව ඉහළ යන බැවින්, නාගරික සැලසුම්කරුවන් සහ බලධාරීන් කාලය නාස්ති නොකර කඩිනමින් නව වෙරළ ආරක්ෂණ උපක්‍රම සහ අනුවර්තන සැලසුම් වෙත යොමුවිය යුතු කාලය එළඹ ඇත.

0 Comments