
නවසීලන්තයේ Wellington Zoo සත්වෝද්‍යානයෙන් ඉතාමත් කණගාටුදායක පුවතක් වාර්තා වේ. ඒ, එහි ජීවත් වූ අවසාන Capybara සත්වයා වූ Fernando ගේ සෞඛ්‍ය තත්ත්වය ශීඝ්‍රයෙන් පිරිහීම හේතුවෙන් ඔහුව Euthanised (වේදනාවකින් තොරව මියයාමට සැලැස්වීම) ලක් කිරීමට සත්වෝද්‍යාන බලධාරීන් තීරණය කිරීමත් සමඟයි.
ලොව විශාලතම මීයන් විශේෂයට අයත්, ඉතාමත් ශාන්ත සහ සමාජශීලී සත්ව කොට්ඨාසයක් වන කැපිබරා සතුන් නැරඹීමට පැමිණි සංචාරකයන් අතර ෆර්නැන්ඩෝ ඉතා කෙටි කලකින් ජනප්‍රිය චරිතයක් බවට පත්ව සිටියේය.
🔴 ෆර්නැන්ඩෝගේ හුදෙකලා ජීවිතය සහ සෞඛ්‍ය පිරිහීම.
වයස අවුරුදු හතක් වූ ෆර්නැන්ඩෝ වෙලින්ටන් සත්වෝද්‍යානයට රැගෙන එනු ලැබුවේ නිව් ප්ලයිමවුත් හි බෲක්ලන්ඩ්ස් සත්වෝද්‍යානයේ සිටයි. ඒ, එහි සිටි ‘ඩියා’ (Dia) නමැති ගැහැණු කැපිබරා සත්වයා සමඟ බෝ කිරීමේ කටයුතු සඳහායි. නමුත් පසුගිය මාර්තු මාසයේදී ඩියා හදිසියේම මියයාමත් සමඟ ෆර්නැන්ඩෝ සත්වෝද්‍යානයේ සිටි එකම කැපිබරා සත්වයා බවට පත් විය.
කැපිබරා යනු සාමාන්‍යයෙන් රංචු වශයෙන් ජීවත් වන, තනිව සිටීමට අකමැති අධික සමාජශීලී සත්ව විශේෂයකි. ඩියාගේ මරණයෙන් පසු ගතවූ මාස හතරක කාලය තුළ සත්වෝද්‍යාන පාලකයින් ෆර්නැන්ඩෝගේ මානසික සහ ශාරීරික සෞඛ්‍යය පිළිබඳව දැඩි අවධානයකින් පසුවිය.
“ඔහු තනිවම ජීවත් වූ මාස හතරක කාලය තුළ සත්ව පාලකයින් ඔහුගේ සුවදුක් සමීපව නිරීක්ෂණය කළා. ඔහුව නවසීලන්තයේ වෙනත් සත්වෝද්‍යානයකට මාරු කිරීමට උත්සාහ කළත්, වෙනත් කිසිදු මධ්‍යස්ථානයක ඔහු රැකබලා ගැනීමට ප්‍රමාණවත් ඉඩකඩක් හෝ වෙනත් කැපිබරා රංචුවක් සිටියේ නැහැ.”
-වෙලින්ටන් සත්වෝද්‍යාන නිල ප්‍රකාශය-
පසුගිය සති කිහිපය තුළ ෆර්නැන්ඩෝගේ සෞඛ්‍ය තත්ත්වය සහ ජීවන තත්ත්වය ඉතා වේගයෙන් පහත වැටුණු බැවින්, ඔහු තවදුරටත් විඳවන බව වටහාගත් වෛද්‍ය කණ්ඩායම ඔහුව නිද්‍රාවට පත් කිරීමට (Euthanise) තීරණය කළහ.
🔴 සත්ව සුභසාධනය වෙනුවෙන් ගත් දුෂ්කර තීරණයක්.
වෙලින්ටන් සත්වෝද්‍යානය (Te Nukuao) ප්‍රකාශ කරන්නේ සතෙකු මෙලෙස මියයාමට සැලැස්වීම සේවක මණ්ඩලයට ඉතාමත් සංවේදී සහ දුෂ්කර තීරණයක් වුවද, සත්ව සුභසාධනයේ ‘ගෝලීය වසම් පහේ ආකෘතිය’ (Five Domains Model) අනුව සත්වයාගේ පෝෂණය, පරිසරය, සෞඛ්‍යය, හැසිරීම සහ මානසික තත්ත්වය සලකා බලා මෙම වඩාත්ම මානුෂීය තීරණය ගත් බවයි.
ෆර්නැන්ඩෝගේ සමුගැනීමත් සමඟ වෙලින්ටන් සත්වෝද්‍යානයේ කැපිබරා සතුන්ගේ යුගය නිමාවට පත්වන අතර, නුදුරු අනාගතයේදී වෙනත් කැපිබරා සතුන් ගෙන්වීමේ බලාපොරොත්තුවක්ද ඔවුන් තුළ නොමැත.
සත්වෝද්‍යාන බලධාරීන් මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ ෆර්නැන්ඩෝ සමඟ වසර ගණනාවක් සමීපව කටයුතු කරමින්, ඔහුගේ මරණයෙන් දැඩි සේ කම්පනයට පත්ව සිටින සත්ව පාලක සේවක මණ්ඩලය වෙත මේ මොහොතේ කරුණාවෙන් සහ දයාවෙන් කටයුතු කරන ලෙසයි.

0 Comments