← BACKPolitics

ඡන්ද බලය පුරවැසියන්ට පමණක් සීමා කළ යුතුද?

BY Dhanush•PUBLISHED JULY 12, 2026•1 MIN READ•0 COMMENTS

ගෝලීයකරණයත් සමඟ මිනිසුන් ශීඝ්‍රයෙන් රටරටවල් අතර සංක්‍රමණය වන මෙවන් යුගයක, දේශපාලන ප්‍රජාවක සාමාජිකයෙකු වීම යන්නෙහි සැබෑ අර්ථය කුමක්ද යන්න පිළිබඳව ලොව පුරා ප්‍රජාතන්ත්‍රවාදී රටවල් නිරන්තරයෙන් ඇගයීමට ලක් කරයි. ස්ථිර පදිංචිය (Permanent Residency) මඟින් පුද්ගලයෙකුට වෙනත් රටක ජීවත් වීමට, රැකියා කිරීමට සහ තම ජීවිතය ගොඩනඟා ගැනීමට අයිතිය ලැබුණද, මූලික ප්‍රශ්නයක් තවමත් ඉතිරිව පවතී. එනම් රටක රජය තෝරා පත් කර ගැනීමේ අයිතිය, එම රටේ පුරවැසිභාවය ලබා ගැනීම සඳහා අවසන් පියවර තබා නොමැති පුද්ගලයින්ට ද ලබා දිය යුතුද යන්නයි?

දැනට, නවසීලන්තය මේ සම්බන්ධයෙන් ලෝකයේ සුවිශේෂී රටක් ලෙස කැපී පෙනේ. ජාතික මහා මැතිවරණවලදී පුරවැසියන් නොවන අයට, විශේෂයෙන්ම ස්ථිර පදිංචිකරුවන්ට ඡන්දය ප්‍රකාශ කිරීමට ඉඩ සලසන ලොව ඇති සීමිත රටවල් කිහිපයෙන් එකක් වන්නේ එයයි. ඒ සඳහා මැතිවරණ නාමලේඛනයට ඇතුළත් වීමට අවශ්‍ය වන්නේ ලෝකයේ අනිත් රටවල් සමග සැසදීමේදී අවම කාලය වන මාස 12ක අඛණ්ඩ පදිංචියක් පමණි.

අතීතයේ දී මෙයට පක්ෂපාතී වූවන් මෙය සංක්‍රමණිකයන් වැළඳ ගැනීමේ ප්‍රගතිශීලී ප්‍රවේශයක් ලෙස දුටුවද, වර්තමානයේදී ඊට එරෙහිව ප්‍රබල මතයක් ගොඩනැඟෙමින් පවතී. ඡන්දය ප්‍රකාශ කිරීම යනු රටක ඉහළම සිවිල් ක්‍රියාව වන අතර, එය එම රට වෙනුවෙන් පූර්ණ නීතිමය හා සිවිල් කැපවීමක් කළ පුද්ගලයින්ට පමණක් සීමා විය යුතුය.

වත්මන් ක්‍රමය කෙතරම් අසාමාන්‍යද යන්න තේරුම් ගැනීමට ජාත්‍යන්තර දේශසීමා දෙස බැලීම ප්‍රමාණවත්ය. දියුණු ප්‍රජාතන්ත්‍රවාදී රටවල් බහුතරයක් පදිංචිය සහ ජාතික ඡන්ද පීඨය අතර පැහැදිලි සීමාවක් පවත්වාගෙන යයි. උදාහරණයක් ලෙස ඇමරිකා එක්සත් ජනපදය, කැනඩාව සහ ඕස්ට්‍රේලියාව වැනි රටවල ෆෙඩරල් මැතිවරණවලදී ඡන්දය ප්‍රකාශ කිරීම පුරවැසියන්ට පමණක් සීමා වේ. ස්ථිර පදිංචිය (Green Card වැනි බලපත්‍ර) මඟින් ආරක්ෂාව සහ ආර්ථික අවස්ථා ලබා දුන්නද, ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය පැහැදිලිවම බැහැර කරයි.

ඒ වගේම සමහර යුරෝපා සංගම් රටවල් විදේශීය පදිංචිකරුවන්ට ඡන්දය ප්‍රකාශ කිරීමට ඉඩ දුන්නද, එම අයිතිය ජාතික පාර්ලිමේන්තුව හෝ රාජ්‍ය නායකයා තෝරා පත් කර ගැනීමට නොව, ප්‍රාදේශීය හෝ නගර සභා මැතිවරණවලට පමණක් සීමා වේ. වසරක් වැනි කෙටි කාලයකින් පසු පුරවැසියන් නොවන අයට මහා මැතිවරණවලදී ඡන්දය ප්‍රකාශ කිරීමට ඉඩ දීමෙන්, නවසීලන්ත වත්මන් නීතිය මඟින් නව සංක්‍රමණිකයෙකුට සහ රට වෙනුවෙන් පක්ෂපාතීත්වයේ දිවුරුම් දුන් ජීවිත කාලය පුරාම ජීවත් වන පුරවැසියෙකුට සමාන දේශපාලන බලයක් ලබා දෙයි.

ඡන්ද අයිතිය පුරවැසියන්ට පමණක් සීමා කළ යුතුය යන තර්කයේ ප්‍රධාන පදනම වන්නේ රටක් කෙරෙහි දක්වන පක්ෂපාතීත්වය සහ වගකීමයි. පුරවැසිභාවය යනු හුදෙක් නීතිමය ලියකියවිලි කැබැල්ලක් පමණක් නොවන අතර, එය රටේ දිගුකාලීන අනාගතය සමඟ නීත්‍යානුකූලව බැඳීමකි. ස්ථිර පදිංචිකරුවන් තවමත් ඔවුන්ගේ මව් රටට මූලික පක්ෂපාතීත්වයක් දක්වන පිරිසක් විය හැකිය. එබැවින්, පුරවැසියන් නොවන අයට ඡන්ද බලය ලබා දීමෙන් ඔවුන්ට රටක නීති, බදු සහ සමාජ ව්‍යුහය තීරණය කිරීමට අවස්ථාව ලැබෙන නමුත්, එහි දිගුකාලීන ප්‍රතිවිපාකවලින් මිදී පහසුවෙන්ම තමන්ගේ මව් රට බලා යාමේ හැකියාව ද ඔවුන් සතුය. එමඟින් ජීවිත කාලය පුරාම රට තුළ රැඳී සිටින පුරවැසියන් සහ තාවකාලිකව සිටින පිරිස් අතර දේශපාලන බලපෑමේ අසමතුලිතතාවයක් ඇති විය හැකි බව මෙහිදී පෙන්වා දෙයි.

ඡන්ද බලය පුරවැසියන්ට පමණක් සීමා කිරීම සංක්‍රමණිකයන් කොන් කිරීමක් නොව, පුරවැසිභාවයට ඉහළ අගයක් ලබා දීමකි. ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය පුරවැසිභාවය ලබා ගැනීමේ ප්‍රධාන සන්ධිස්ථානයක් ලෙස තැබීමෙන්, එම ක්‍රියාවලිය වඩාත් අර්ථවත් සහ ගෞරවනීය එකක් බවට පත්වේ. වසරක් වැනි කෙටි කාලයකින් පුරවැසියන් නොවන අයට මහා මැතිවරණයක ඡන්ද අයිතිය ලැබෙන්නේ නම්, නීත්‍යානුකූලව පුරවැසිභාවය ලබා ගැනීමට ඇති පෙළඹවීම අඩු විය හැකි බව ද විචාරකයින් පවසයි.

සාධාරණ සහ ශක්තිමත් ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහයක් තුළ කරුණු දෙකක් එකවර සමතුලිතව පවත්වා ගත හැකිය:

ඒ සංක්‍රමණිකයන් සාදරයෙන් පිළිගනිමින් ඔවුන්ට ජීවත් වීමට සහ රැකියා කිරීමට ආරක්ෂිත පරිසරයක් ලබා දීම මෙන්ම ජාතික පාලනය සහ තීරණ ගැනීම් සම්බන්ධයෙන් පැහැදිලි සීමාවක් පවත්වා ගැනීමයි.

ස්ථිර පදිංචිය මඟින් අනාගතයක් ගොඩනඟා ගැනීමට අවස්ථාව ලැබෙන අතර, පුරවැසිභාවය මඟින් එම අනාගතය කෙබඳු විය යුතුද යන්න තීරණය කිරීමේ අයිතිය හිමිවේ. රටක ප්‍රජාතන්ත්‍රවාදයේ ස්ථාවරත්වය ආරක්ෂා කර ගැනීම සඳහා මහා මැතිවරණවලදී ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය, රට වෙනුවෙන් පූර්ණ කැපවීමක් කළ පුද්ගලයින්ට පමණක් හිමි විය යුතු බව වත්මන් නීති ප්‍රතිශෝධනය කළ යුතු යැයි සිතන පාර්ශ්වයන්ගේ දැඩි මතයයි.

මේ ගැන ඔබේ මතය පහළින් කමෙන්ට් කරන්න. 💭👇🏻

0 Comments

Leave a Reply

Your email address will not be published.Required fields are marked *