← BACKHealth

නිරෝගීව සහ සතුටින් ඉන්න අපේ ඇඟ කොපමණ වෙලාවක් චලනය කරන්න ඕනෙද?

BY Dhanush•PUBLISHED JULY 17, 2026•1 MIN READ•0 COMMENTS

කාර්යබහුල ජීවිතයත් එක්ක Gym එකක් පැය ගණන් ගත කරන්න හෝ වෙහෙසකර ව්‍යායාම කරන්න හැමෝටම වෙලාවක් නැහැ. හැබැයි සෞඛ්‍ය විශේෂඥයන් දැන් පවසන්නේ නිරෝගීව සිටීමට ජිම් යෑමම අත්‍යවශ්‍ය නොවන බවයි. ඒ වෙනුවට ඔවුන් යෝජනා කරන්නේ ඉතා සරල මූලධර්මයක්: “ඔබේ ශරීරය නිතරම චලනය කරන්න (Move your body).”

🔴 නිරෝගීව ඉන්න සතියට කොපමණ වෙලාවක් අවශ්‍යද?
ලෝක සෞඛ්‍ය සංවිධානයේ සහ සෞඛ්‍ය අමාත්‍යාංශවල නිර්දේශයන්ට අනුව, වැඩිහිටි අයෙකු සතියකට අවම වශයෙන් පහත සඳහන් ආකාරයට ක්‍රියාශීලී විය යුතුය:

👉 සාමාන්‍ය වේගයෙන් කෙරෙන ක්‍රියාකාරකම්: සතියකට අවම වශයෙන් පැය 2.5ක් (විනාඩි 150ක්). ඒ කියන්නේ දවසකට විනාඩි 20-30ක් වගේ කාලයක් වේගයෙන් ඇවිදීම, වත්තපිටිය සුද්ද කිරීම වැනි දෙයක නිරත වීම සෑහේ.

👉 දැඩි ක්‍රියාකාරකම්: ඔබ දුවන්න හෝ වේගයෙන් බයිසිකල් පදින්න කැමති නම්, සතියකට පැය 1.5ක් ශරීරය වෙහෙසවීම ප්‍රමාණවත්ය.

👉 ශක්තිය වර්ධනය කරන ව්‍යායාම: මීට අමතරව, සතියට දින 2ක් බර බඩු එසවීම (බඩු මලු රැගෙන යාම වැනි) හෝ පඩිපෙළ නැගීම මඟින් මාංශ පේශි ශක්තිමත් කරගත යුතුය.

🔴 “Active Couch Potato” (ක්‍රියාශීලී අලසයා) වීමේ අනතුර.

උදේට විනාඩි 30ක් ව්‍යායාම කරලා, ඉන්පසු දවසේ ඉතිරි පැය 8-9 පුරාම ඔෆිස් පුටුවට වී එක දිගට වාඩි වී සිටින අයට විශේෂඥයන් පවසන්නේ “Active Couch Potato” කියාය. එක දිගට වාඩි වී සිටීම ශරීරයේ රුධිර ගමනාගමනය අඩාල කරන අතර කොන්දේ කැක්කුම් ඇති කරයි. එම නිසා, සෑම විනාඩි 30කට හෝ 60කට වරක්ම පුටුවෙන් නැගිට පොඩ්ඩක් ඇවිදීම හෝ ඇඟ මැලි කැඩීම ඉතා වැදගත් වේ.

🔴 මානසික සුවයට ශරීරය චලනය කිරීම.
ශරීරය චලනය කිරීමෙන් ලැබෙන්නේ ශාරීරික සුවය විතරක් නෙවෙයි. පර්යේෂණවලින් හෙළි වී ඇත්තේ සතියකට පැය 2.5ක් ක්‍රියාශීලී වන පුද්ගලයන්ගේ මානසික සතුට 51%කින් වැඩි වන බවයි. එය මානසික ආතතිය සහ කාංසාව (Anxiety) අඩු කර, රාත්‍රියට සුව නින්දක් ලබා ගැනීමට උපකාරී වේ.

🔴 Something is better than nothing !
ව්‍යායාම කරන්න පැයක් නැති නම් වැඩක් නැහැ කියා සිතීම වැරදියි. කිසිවක් නොකර සිටිනවාට වඩා විනාඩි 2ක් හෝ 5ක් සිංදු කෑල්ලක් දමා නටන්න, නැතහොත් ගේ වටේ ඇවිදින්න. ඔබ කරන සෑම කුඩා චලනයක්ම ඔබේ නිරෝගීකමට එකතු වන බව හොදින් මතක තබා ගන්න.

0 Comments

Leave a Reply

Your email address will not be published.Required fields are marked *