← BACKTechnology

කෘතිම බුද්ධි දත්ත මධ්‍යස්ථාන නිසා විදුලිය සහ ජලය අර්බුදයකට! නවසීලන්ත ග්‍රීන් පක්ෂයෙන් වසරක තහනමක්!

BY DhanushPUBLISHED JULY 26, 20261 MIN READ0 COMMENTS

කෘතිම බුද්ධි (AI) තාක්ෂණය සඳහා භාවිත වන යෝධ දත්ත මධ්‍යස්ථාන (data centres) හේතුවෙන් රටේ විදුලි බල පද්ධතියට සහ ජල සම්පතට දැඩි තර්ජනයක් එල්ල වන බව පවසමින්, නවසීලන්තයේ ග්‍රීන් පක්ෂය (Green Party) විසින් එම ව්‍යාපෘති සඳහා වසරක කාලයක තාවකාලික තහනමක් පනවන ලෙස රජයෙන් ඉල්ලා සිටී. පැහැදිලි ජාතික ප්‍රතිපත්තියක් සහ නීතිමය රාමුවක් සකස් කරන තෙක් අලුතින් යෝජනා වන මහා පරිමාණ කෘතිම බුද්ධි දත්ත මධ්‍යස්ථාන සඳහා පරිසර අනුමැතිය ලබා දීම වහාම අත්හිටුවිය යුතු බව ග්‍රීන් පක්ෂයේ සම-නායකයින් වන ක්ලෝයි ස්වාබ්‍රික් (Chlöe Swarbrick) සහ මාරමා ඩේවිඩ්සන් (Marama Davidson) අවධාරණය කරති.

පවතින නීතිමය හිඩැස්වලින් ප්‍රයෝජන ගන්නා විදේශීය තාක්ෂණික සමාගම්, මහජන මතය විමසීමකින් තොරව පළාත් පාලන ආයතන හරහා රහසිගතව අනුමැතිය ලබා ගන්නා බවට ඔවුහු චෝදනා කරති. මෙම තත්ත්වය පාලනය නොකළහොත් ඇති වන පරිසර හානිය පසුව ආපසු හැරවිය නොහැකි බව ස්වාබ්‍රික් මහත්මිය අනතුරු අඟවන්නීය.
මෙම ආන්දෝලනාත්මක සංවාදයට ප්‍රධානම හේතුව වී ඇත්තේ සිංගප්පූරු සමාගමක් වන ‘ඩේටාග්‍රිඩ්’ (Datagrid) විසින් ඉන්වර්කාගිල් (Invercargill) නගරය ආසන්නයේ ඉදිකිරීමට යෝජිත ඩොලර් බිලියන 3.5 ක දැවැන්ත දත්ත මධ්‍යස්ථානයයි. වර්ග මීටර් 78,000 ක භූමි ප්‍රමාණයක පැතිරෙන මෙම මධ්‍යස්ථානය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක වූ පසු මෙගාවොට් 280 ක විදුලි බලයක් පාරිභෝජනය කිරීමට නියමිත අතර, එය සමස්ත නවසීලන්තයේම විදුලි නිෂ්පාදනයෙන් සියයට 6 කි. මෙය නිවාස 300,000 කට හෝ ක්‍රයිස්ට්චර්ච් (Christchurch) නගරයේ සමස්ත විදුලි අවශ්‍යතාවයෙන් සියයට 70 කට සමාන වන බැවින්, රටේ දෙවන විශාලතම විදුලි පාරිභෝගිකයා බවට මෙම මධ්‍යස්ථානය පත්වනු ඇත.

මීට අමතරව, දිනකට භූගත ජලය ලීටර් 600,000 ක් දක්වා ලබා ගැනීමට මුලින් අනුමැතිය ලබාගෙන තිබීමද දැඩි විවේචනයට ලක්වූ අතර, පසුව එම සමාගම වැසි ජලය සහ වායු සිසිලන ක්‍රමවේද භාවිත කරන බව ප්‍රකාශ කළද, ස්ථිර නීතිමය රාමුවක අවශ්‍යතාව මෙමගින් පැහැදිලි වන බව පරිසරවේදීහු පෙන්වා දෙති.

කෙසේ වෙතත්, අගමැති ක්‍රිස්ටෝෆර් ලක්සන් (Christopher Luxon) ග්‍රීන් පක්ෂයේ මෙම යෝජනාව ප්‍රතික්ෂේප කරමින් කියා සිටියේ එය අනවශ්‍ය බියක් ඇති කිරීමක් බවත්, නවසීලන්ත ආර්ථිකයේ අනාගත වර්ධනයට මෙවැනි තාක්ෂණික යටිතල පහසුකම් අත්‍යවශ්‍ය බවත්ය. ප්‍රධාන විපක්ෂය වන ලේබර් පක්ෂයේ (Labour Party) නායක ක්‍රිස් හිප්කින්ස් (Chris Hipkins) සෘජු තහනමකට සහාය නොදැක්වුවද, පාරිසරික බලපෑම් පිළිබඳව පවතින ගැටලු පිළිගනිමින් කඩිනම් ජාතික මාර්ගෝපදේශ මාලාවක අවශ්‍යතාව අවධාරණය කළේය. ලොව පුරා සීඝ්‍රයෙන් වර්ධනය වන කෘතිම බුද්ධි තාක්ෂණයත් සමග විදුලි ගාස්තු ඉහළ යාම සහ බලශක්ති අර්බුද නිර්මාණය වීම සාමාන්‍ය ජනතාවටද සෘජුවම බලපාන බැවින්, මෙම ව්‍යාපෘති සඳහා තදින් නීති රීති පැනවිය යුතු බවට කෙරෙන සංවාදය මේ වන විට නවසීලන්තය පුරා දැඩි උණුසුම් මුහුණුවරක්ගෙන තිබේ.

0 Comments

Leave a Reply

Your email address will not be published.Required fields are marked *