
වසර හැටකට වැඩි කාලයක් තිස්සේ, විද්‍යාගාරයක පවා කෘත්‍රිමව නිපදවිය නොහැකි වූ මහා අගනා ත්‍යාගයක් ලෝකයට දීම සඳහා එක්තරා ඕස්ට්‍රේලියානු ජාතිකයෙක් සෑම සති දෙකකට වරක්ම තමන්ගේ අත ඉදිරිපත් කළේය. ලොව පුරා “රන් බාහුව හිමි මිනිසා” (The Man with the Golden Arm) ලෙස ප්‍රසිද්ධියට පත් ජේම්ස් හැරිසන්, තම ජීවිත කාලය තුළ ප්ලාස්මා දානය කිරීම් 1,173ක් වැනි විශ්මයජනක සංඛ්‍යාවක් සිදු කරමින් ජීවමාන පුරාවෘත්තයක් බවට පත් විය. ඒ හරහා අලුත උපන් බිළිඳුන් ලක්ෂ 24කට (මිලියන 2.4කට) ආසන්න සංඛ්‍යාවකගේ ජීවිත බේරා ගැනීමට ඔහුට හැකි විය.
හැරිසන්ගේ මෙම අපූර්ව ප්ලාස්මා දායකත්වයේ ආරම්භය සිදු වූයේ ඔහුට වයස අවුරුදු 14දීය. එහිදී ඔහු මුහුණ දුන් සංකීර්ණ පෙනහැලි සැත්කමක් අතරතුර, නොදන්නා දායකයින් රැසකගේ ලේ ලීටර් ගණනක් ලබා දීමෙන් ඔහුගේ ජීවිතය යන්තම් බේරී ගියේය. අන් අයගේ එම ත්‍යාගශීලී බවින් තමන්ට ලැබුණු දෙවන ජීවිතය ගැන හැඟීම්බර වූ ඔහු, තමාට අවුරුදු 18 පිරුණු වහාම රුධිර දායකයෙකු වීමට තරයේ අභිෂ්ඨාන කර ගත්තේය. කටු වලට මහත් බයක් දැක්වූවද, සැමවිටම ඉඳිකටුව විදින දෙස නොබලා වෙනතක් බැලීමට පුරුදුව සිටි හැරිසන්, 1954 දී සිය ප්‍රථම රුධිර දායකත්වය ලබා දෙමින් ලබා දුන් පොරොන්දුව ඉටු කළේය.
ඔහුගේ රුධිරයේ අතිශය දුර්ලභ හා අගනා රහසක් සැඟවී ඇති බව හැරිසන් පවා එකල දැන සිටියේ නැත. 1960 ගණන්වලදී ඕස්ට්‍රේලියානු වෛද්‍යවරුන් සොයාගත්තේ ඔහුගේ ප්ලාස්මා තුළ “Anti-D” ලෙස හඳුන්වන විශේෂිත ප්‍රතිදේහ ඉතා ඉහළ මට්ටමකින් පවතින බවයි. Rh සෘණ (Rh-negative) මවකගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය මගින්, කුස තුළ සිටින Rh ධන (Rh-positive) කළලය ආගන්තුක තර්ජනයක් ලෙස හඳුනාගෙන ඊට පහර දීමෙන් ඇතිවන මාරාන්තික රෝගී තත්ත්වයන් (HDFN) වැළැක්වීමට මෙම ප්‍රතිදේහය අත්‍යවශ්‍ය විය. හැරිසන්ගේ ප්ලාස්මා භාවිතයෙන් මෙම Anti-D එන්නත නිපදවීමට විද්‍යාඥයන් සමත් වූ අතර, එමගින් ගැබිනි මව්වරුන්ට සහ නූපන් දරුවන්ට මාරාන්තික විය හැකි සංකූලතා සාර්ථකව වළක්වා ගැනීමට හැකි විය.
දශක ගණනාවක් තිස්සේ ඕස්ට්‍රේලියාවේ Anti-D එන්නත් නිෂ්පාදනයේ ප්‍රධාන පදනම වූයේ හැරිසන්ගේ ප්ලාස්මා දායකත්වයයි. ඒ හේතුවෙන් මෙම අත්‍යවශ්‍ය ඖෂධය සම්බන්ධයෙන් සම්පූර්ණයෙන්ම ස්වයංපෝෂිත වූ ලොව පළමු රටවල් අතරට ඕස්ට්‍රේලියාවද එක් විය. ඔහුගේ මෙම නිහඬ, කැපවීමෙන් පිරි සේවයේ ප්රතිලාභ ඔහුගේම පවුලටද ලැබුණි; ඔහුගේ දියණියට සහ ලේලියටද මෙම එන්නත ලබා දීමට සිදු වූ අතර, ඒ නිසාම ඔහුගේම මුනුබුරු මිනිබිරියන්ද නිරෝගීව මෙලොව එළිය දුටුවහ.
ඕස්ට්‍රේලියාවේ රුධිර දායකයින් සඳහා වන උපරිම වයස් සීමාව වූ වයස අවුරුදු 81 සම්පූර්ණ වීමත් සමඟ, 2018 මැයි මාසයේදී හැරිසන් සිය අවසන් ප්ලාස්මා දායකත්වය ලබා දෙමින් විශ්‍රාම ගත්තේය. වසර ගණනාවක් පුරා ලෝක ගිනස් වාර්තාවකට හිමිකම් කී හැරිසන්, සෑම විටම පැවසුවේ යම් දිනක කවුරුන් හෝ තමාගේ එම වාර්තාව බිඳ දමනු දැකීම තමාගේ එකම ප්‍රාර්ථනාව බවයි. මන්ද එයින් අදහස් වන්නේ තවත් අහිංසක ජීවිත රැසක් ජීවත් කරවන බව පමණක්ම බැවිනි.

0 Comments