
කෘත්‍රිම බුද්ධිය (AI) භාවිතයෙන් නිර්මාණය කෙරෙන ප්‍රබල වෛරස් මගින් මුළු මහත් මානව සංහතියටම කෝටි ගණනින් ජීවිත අහිමි වන මහා විනාශයක් සිදු විය හැකි බවට නවසීලන්ත විද්‍යාඥයින් අනතුරු අඟවයි. ‘Nature’ නමැති ලෝකප්‍රකට විද්‍යාත්මක සඟරාවේ පළ වූ පර්යේෂණයකින් හෙළි වූයේ, ‘ඊවෝ’ (Evo) නමැති දියුණු කෘත්‍රිම බුද්ධි ආකෘතියක් භාවිත කරමින් අලුත්ම වෛරස් වර්ග 16ක් රසායනාගාරයක් තුළ සාර්ථකව නිර්මාණය කිරීමට පර්යේෂකයින් සමත් වූ බවයි. (මේ පිළිබද පෙර ලිපියකින් අපි ඔබව දැනුවත් කළා) මෙම වෛරස බැක්ටීරියා විනාශ කරන වර්ගයේ ඒවා වුවද, කෘත්‍රිම බුද්ධියට ජාන සංකේත විශ්ලේෂණය කරමින් ස්වයංක්‍රීයව ව්‍යාප්ත විය හැකි නව ජෛව විද්‍යාත්මක වෛරස් මුල සිටම නිර්මාණය කිරීමේ හැකියාව ඇති බව මෙයින් තහවුරු වී තිබේ.
දශක තුනකට වැඩි කාලයක් ජාත්‍යන්තර අවදානම් පිළිබඳ පර්යේෂණවල නිරත නවසීලන්තයේ ඔටාගෝ විශ්වවිද්‍යාලයේ (University of Otago) මහාචාර්ය නික් විල්සන් (Nick Wilson) පෙන්වා දෙන්නේ, ක්‍රි.ව. 500 දී පමණ පැතිර ගිය ජස්ටිනියන් වසංගතයෙන් (Plague of Justinian) යුරෝපයේ ජනගහනයෙන් අඩක් පමණ මියගිය බවයි. කෘත්‍රිම බුද්ධියෙන් වැඩිදියුණු කළ වෛරසයක මරණ අනුපාතය සියයට 50ට වඩා බෙහෙවින් වැඩි විය හැකි අතර, එය බිලියන ගණනකගේ ජීවිතවලට සෘජු තර්ජනයක් වන බව ඔහු පවසයි. සප්රමාණවත් ජෛව ආරක්ෂණ ක්‍රමවේද නොමැති වුවහොත්, හමුදාමය ජෛව ආයුධ තර්ජනවලට අමතරව රසායනාගාරවලින් අහම්බෙන් වෛරස් පිටතට කාන්දු වීමෙන්ද මෙවැනි ඛේදවාචකයක් සිදු විය හැකිය. 1978 වසරේදී එංගලන්තයේ බර්මිංහැම් හි රසායනාගාරයකින් පිටතට කාන්දු වූ Smallpox වෛරසය ශරීරගත වීමෙන් ජැනට් පාකර් නමැති කාන්තාව මියයාම මෙයට හොඳම උදාහරණයකි.
මෙම අවදානම තවත් වැඩි වී ඇත්තේ, තාක්ෂණික දැනුම නොමැති සාමාන්‍ය පුද්ගලයින්ට පවා කෘත්‍රිම බුද්ධිය භාවිතයෙන් ජෛව ආයුධ තැනීමේ හැකියාව ලැබෙමින් පැවතීම නිසාය. ඇන්ත්‍රොපික් (Anthropic) නමැති AI ආයතනය සිදු කළ පරීක්ෂණයකදී හෙළි වූයේ, සාමාන්‍යයෙන් මාස තුනක් පුරා සිදු කරන සංකීර්ණ රසායනාගාර පර්යේෂණ කාර්යයක් AI උපකරණ භාවිතයෙන් පැය 16ක් වැනි කෙටි කාලයකදී නිම කිරීමට සාමාන්‍ය ක්ෂුද්රජීව විද්‍යාඥයින්ට හැකි වූ බවයි. කෘත්‍රිම බුද්ධිය මගින් ජානමය රෝග සඳහා ප්‍රතිකාර සෙවීමට මෙන්ම වෛද්‍ය ක්ෂේත්රයේ විශාල පුනරුදයක් ඇති කිරීමට හැකියාව තිබුණද, නිසි ආරක්ෂක නීතිරීති හා ජාත්‍යන්තර පාලනයකින් තොරව මෙම තාක්ෂණය භාවිත කිරීම මහා පරිමාණ විනාශයකට මග පාදනු ඇති බව විද්‍යාඥයෝ දැඩි ලෙස අවධාරණය කරති.

0 Comments