
සමාජ මාධ්‍ය වේදිකාවල ඇල්ගොරිතම ක්‍රියාකාරීත්වය සහ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය පාලනය කිරීම සඳහා රජයට වැඩි බලතල ලබා දිය යුතු බවට ඕස්ට්‍රේලියානු ජනතාවගෙන් බහුතරයක් ඉල්ලා සිටිති. ‘එසෙන්ෂල් රිසර්ච්’ (Essential Research) ආයතනය මගින් සිදු කරන ලද නවතම සමීක්ෂණයකින් හෙළි වී ඇත්තේ, එරට වැසියන්ගෙන් සියයට 71ක්ම සමාජ මාධ්‍ය අන්තර්ගතයන් ඇල්ගොරිතම මගින් තීරණය කිරීමට ඉඩ නොදී, ඒවා තමන්ට අවශ්‍ය පරිදි තෝරා ගැනීමට (opt-in) පහසුකම් සැලසීම අනිවාර්ය කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බවයි.
ලේඛිකාවක මෙන්ම කැමැත්ත ප්‍රකාශ කිරීමේ අයිතිය වෙනුවෙන් පෙනී සිටින ප්‍රකට ක්‍රියාකාරිනියක වන චැනල් කොන්ටොස් (Chanel Contos) ගේ මූලිකත්වයෙන් සංවිධානය වූ මෙම පර්යේෂණය සඳහා පුද්ගලයන් 1,000කට වැඩි පිරිසක් එක්ව සිටියහ. ඉන් තුන්කාලක පමණ පිරිසක් අවධාරණය කර ඇත්තේ, අන්තර්ජාලය තුළ තමන් නරඹන දේ මෙන්ම තම පෞද්ගලික දත්ත භාවිත වන ආකාරය පිළිබඳ සම්පූර්ණ පාලනය තමන් සතුව පැවතිය යුතු බවයි. පක්ෂ භේදයකින් තොරව පොදුවේ මතුව ඇති මෙම මහජන ඉල්ලීමට කම්කරු පක්ෂයේ (Labor) පාක්ෂිකයින්ගෙන් සියයට 76ක සහ ග්‍රීන්ස් (Greens) පක්ෂයේ පාක්ෂිකයින්ගෙන් සියයට 68ක ඉහළ සහයෝගයක් හිමිව තිබේ.
මෙම මහජන මතය හමුවේ ඇල්බනීස් (Albanese) රජය මේ වන විටත් ‘මාර්ගගත ආරක්ෂණ පනත’ (Online Safety Act) යාවත්කාලීන කරමින්, නව ‘ඩිජිටල් රැකවරණ වගකීමක්’ (digital duty of care) හඳුන්වා දීමට කටයුතු කරමින් සිටී. මෙම වසර අවසන් වීමට ප්‍රථම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත මෙම නව කෙටුම්පත මගින් සමාජ මාධ්‍ය, උත්පාදක කෘත්‍රිම බුද්ධි චැට්බොට් (generative AI chatbots) සහ යෙදුම් ගබඩා (app stores) ඇතුළු සියලුම මාර්ගගත සේවා සපයන්නන් පරිශීලකයින්ට උපරිම සුරක්ෂිත ඩිජිටල් පරිසරයක් තහවුරු කිරීමට නීතියෙන්ම බැඳී සිටිනු ඇත.
නව නීති මගින් AI තාක්ෂණය, ඇල්ගොරිතම මගින් අන්තර්ගතයන් යොමු කිරීමේ පද්ධති සහ බොට් (bot) ගිණුම්වල ආරක්ෂිතභාවය තහවුරු කිරීම සේවා සපයන්නන්ගේ ප්‍රධාන වගකීමක් බවට පත්වන අතර, එම වගකීම් පැහැර හරින ආයතන වෙත දැඩි දඩ මුදල් පැනවීමට ද නීතිමය ඉඩකඩ සැලසේ.
ඇල්ගොරිතම නිසා ජනතාව දුරකථන තිරයට ඇබ්බැහි වීම, මානසික සෞඛ්‍ය පිරිහීම සහ පුද්ගල සබඳතාවලට හානි සිදුවීම වැනි පීඩාවන්ට නිරාවරණය වන බව පෙන්වා දෙන චැනල් කොන්ටොස්, තත්ත්වය තවදුරටත් සංකීර්ණ වීමට පෙර රජය වහාම මෙම නීතිමය ආවරණය ක්‍රියාත්මක කළ යුතු බව වැඩිදුරටත් අවධාරණය කරයි.

0 Comments