
Taranaki ප්‍රදේශයේ විශේෂ මාර්ග ආරක්ෂණ මෙහෙයුමකදී පොලිස් අණනොතකා පලාගිය සැකකරුවන් ඇතුළු රථවාහන වැරදි රැසක නිරත වූ පිරිසක් අත්අඩංගුවට ගෙන තිබේ. New Plymouth, Oakura, Bell block, Inglewood සහ Waitara යන ප්‍රදේශ මුල් කරගනිමින් පසුගිය සිකුරාදා සහ සෙනසුරාදා රාත්‍රීන්හිදී ක්‍රියාත්මක වූ මෙම මෙහෙයුම සඳහා Manawatu සහ Whanganui ප්‍රදේශවල විශේෂිත පොලිස් කණ්ඩායම්ද එක්ව සිටියහ.
මෙම හදිසි පරීක්ෂාවන් අතරතුරදී රියදුරන් 460 දෙනෙකු මධ්‍යසාර පරීක්ෂාවට (Breath tests) ලක්කළ අතර, බීමත්ව රිය පැදවූ 06 දෙනෙකුට එරෙහිව නීතිමය පියවර ගෙන ඇත. තවද අධික වේගයෙන් රිය පැදවූ 24 දෙනෙකුට සහ අනෙකුත් රථවාහන වැරදි සම්බන්ධයෙන් 41 දෙනෙකුට දඩ පැනවීමට පොලිසිය පියවර ගත්තේය. රියදුරු බලපත්‍ර අත්හිටුවා තිබියදී සහ අහෝසි කර තිබියදී රථවාහන ධාවනය කළ 07 දෙනෙකු හඳුනාගත් අතර, මෝටර් රථ 05ක් පොලිස් භාරයට ගෙන තිබේ.
මෙහෙයුම අතරතුර පොලිස් මාර්ග බාධක මගහැර පලා යාමට තැත්කළ රථ දෙකක්ද ලුහුබැඳ ගොස් අත්අඩංගුවට ගැනීමට හැකි විය. එහිදී සිදුකළ වැඩිදුර විමර්ශනවලදී එක් රථයක සිටි පිරිස Manaia ප්‍රදේශයේ සිදුවූ සොරකමකට සහ මෝටර් රථයක් පැහැරගැනීමට සම්බන්ධ සැකකරුවන් බව හෙළිවූ අතර, අනෙක් රථය පැදවූ 15 හැවිරිදි තරුණයා ළමා අධිකරණය වෙත යොමුකර ඇත. අන්තරායකර රිය පැදවීම් වැළැක්වීම සඳහා මෙම මෙහෙයුම් නිරන්තරයෙන් ක්‍රියාත්මක වන බවත්, මහජන ආරක්ෂාව වෙනුවෙන් මෙවැනි නීති විරෝධී ක්‍රියා පිළිබඳ වහාම තොරතුරු ලබාදෙන ලෙසත් තරනකි ප්‍රදේශ භාර පොලිස් ඉන්ස්පෙක්ටර් මාක් මිලර් මහතා වැඩිදුරටත් ඉල්ලා සිටී.

0 Comments