
ලෝකයම මහත් කුතුහලයකින් සහ භීතියකින් බලා සිටින කෘත්‍රිම බුද්ධියේ (AI) සීඝ්‍ර දියුණුව හමුවේ මානව වර්ගයාගේ අනාගත ආරක්ෂාව තහවුරු කිරීම සඳහා බ්‍රිතාන්‍යයේ චාල්ස් රජු විශේෂ පියවරක් ගෙන තිබේ. ඒ අනුව, ලොව ප්‍රමුඛතම AI සමාගම්වල ප්‍රධානීන් ඇතුළු තාක්ෂණික ක්ෂේත්රයේ ප්‍රබලයින් සහ බ්‍රිතාන්‍යයේ AI අමාත්‍යවරයාගේ සහභාගීත්වයෙන් විශේෂ සාකච්ඡාවක් මේ සතියේදී පැවැත්වීමට නියමිතය.
Nvidia, Google DeepMind, OpenAI සහ Anthropic යන තාක්ෂණික යෝධයින්ගේ ඉහළ පෙළේ විධායක නිලධාරීන් මෙම හමුවට එක්වීමට නියමිත අතර, එහිදී AI තාක්ෂණය පාලනය කිරීමට පොදු ප්‍රතිපත්ති මාලාවක් සකස් කිරීම මෙන්ම මානව ගෞරවය සහ පෘථිවියේ පැවැත්ම සුරකිමින් මෙය යොදාගන්නා ආකාරය පිළිබඳව දීර්ඝ ලෙස අවධානය යොමු කෙරෙනු ඇත.
🔴 මානවයා වඳවී යාමේ අවදානමක්?
AI මාදිලි දියුණු කිරීමේ වේගය වහාම මන්දගාමී කළ යුතු බවට Anthropic ආයතනයේ ප්‍රධාන විධායක ඩාරියෝ අමෝඩේ මෙන්ම එහි පර්යේෂකයින්ද දැඩි ලෙස අවධාරණය කරයි. ඔවුන් පෙන්වා දෙන්නේ පාලනයකින් තොරව සිදුවන මෙම තාක්ෂණික පැනීම නුදුරු අනාගතයේදී මානව වර්ගයාගේ වඳවී යාමට පවා හේතු විය හැකි බවයි.
Anthropic ආයතනය නිකුත් කළ නවතම වාර්තාවකට අනුව, ඔවුන්ගේ ‘Claude’ AI ආකෘති භාවිතා කරමින් ඇතැම් පිරිස් ආයුධ සංවර්ධනය, සයිබර් ප්‍රහාර, රහසිගත නිරීක්ෂණ සහ මහා පරිමාණ වංචාවන් වැනි භයානක කටයුතුවල නිරත වන බව හෙළි වී තිබේ.
කෙසේ වෙතත්, මේ සඳහා ගෝලීය මට්ටමින් එකඟතාවයකට පැමිණීම ලෙහෙසි පහසු නැත. ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් AI තාක්ෂණය මන්දගාමී කිරීමේ අදහස සෘජුවම ප්‍රතික්ෂේප කර ඇති අතර, චීනයේ ‘ග්ලෝබල් ටයිම්ස්’ පුවත්පත සඳහන් කරන්නේ මෙම නියාමන උත්සාහයන් බීජිං පාලනය ඉලක්ක කරගත් නව “සීතල යුද ප්‍රතිපත්තියක්” බවයි.
තවත් පසෙකින්, ඔස්ට්‍රියාවේ ලින්ස් නුවර නව ගූගල් දත්ත මධ්‍යස්ථානයකට එරෙහිව පැවැති දැවැන්ත ජනතා විරෝධතාවලින් පෙනී යන්නේ මෙම තාක්ෂණික ව්‍යාප්තිය හමුවේ සමාජය තුළ ගොඩනැගෙමින් පවතින දැඩි නොසන්සුන්තාවයි.
🔴 මේ වෙනුවෙන් කෙරෙන බ්‍රිතාන්‍යයේ කාර්යභාරය…
පරිසරය වැනි ගෝලීය මාතෘකාවලදී පෙරමුණ ගත් චාල්ස් රජු, මෙවරද රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් මෙම අර්බුදයට මැදිහත් වී සිටී. යුරෝපා සංගමයට වඩා එක්සත් ජනපදයට සමීප ලිහිල් නියාමන ප්‍රතිපත්තියක් අනුගමනය කරන බ්‍රිතාන්‍යය, සිය ‘AI ආරක්ෂණ ආයතනය’ හරහා නව AI මාදිලි වෙළඳපොළට පැමිණීමට පෙර ඒවායේ අවදානම් තක්සේරු කිරීමට දැනටමත් පියවර ගෙන ඇත.

0 Comments