← BACKHealth

සෞඛ්‍ය පද්ධතිය සම්පූර්ණයෙන්ම වෙනස් කිරීමට නවසීලන්තයෙන් දැවැන්ත යෝජනාවක්!

BY Dhanush•PUBLISHED SEPTEMBER 20, 2026•1 MIN READ•0 COMMENTS

ලෙඩ වූ පසු ප්‍රතිකාර කිරීමට වඩා, රෝග හඳුනාගෙන ඒවා වැළැක්වීම පෙරදැරි කරගනිමින් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ දැවැන්ත පෙරළියක් සිදුකිරීම සඳහා වන “Make NZ Healthy” (නවසීලන්තය නිරෝගී කරමු) නමැති විශේෂ ප්‍රතිපත්ති මාලාව New Zealand First පක්ෂය විසින් නිල වශයෙන් ප්‍රකාශයට පත්කර ඇත.

නවසීලන්තයේ වර්ෂික සෞඛ්‍ය වැය ශීර්ෂය වන ඩොලර් බිලියන 33 න් 59% ක්ම වැය වන්නේ දියවැඩියාව සහ හෘද රෝග වැනි වළක්වා ගත හැකි දීර්ඝකාලීන රෝග සඳහා ප්‍රතිකාර කිරීමට බව පෙන්වා දෙන එම පක්ෂය, රෝග වැළැක්වීමේ කටයුතු සඳහා වැය කරන්නේ සමස්ත අයවැයෙන් 1.75% ක් වැනි ඉතා කුඩා ප්‍රතිශතයක් බව අවධාරණය කරයි. මෙම ක්‍රමය හරහා සිදුවන්නේ රෝගීන් සංඛ්‍යාව දිනෙන් දින ඉහළ යාම සහ රෝහල් පද්ධතිය දැඩි ලෙස අඩපණ වීම පමණක් බව නිව්සීලන්ඩ් ෆස්ට් නායකත්වය පෙන්වා දෙයි.

මෙම අභිමතාර්ථය සාක්ෂාත් කර ගැනීම සඳහා පාසල් මට්ටමේ සිට වෛද්‍ය විද්‍යාල දක්වා පෝෂණවේදය පිළිබඳ අධ්‍යාපනය ලබාදීම, ජාතික ආහාර මාර්ගෝපදේශ මාලාවන් ස්වාධීන පරීක්ෂාවකට ලක්කිරීම සහ පවුලේ වෛද්‍යවරුන්ගේ (GPs) පරිපාලන බර අඩුකර ඔවුන්ට නිදහසේ කටයුතු කිරීමට ඉඩ සැලසීම මෙම යෝජනාවලියට ඇතුළත් වේ. එමෙන්ම ප්‍රාථමික සෞඛ්‍ය සේවා ශක්තිමත් කිරීම සඳහා සෞඛ්‍ය උපදේශකයින් (Health Coaches) අලුතින් එක්කිරීමටද යෝජනා කර ඇත.

තවද, මානසික සෞඛ්‍යය නැංවීම සඳහා පෝෂණීය සත්කාර, විටමින් D භාවිතය පිළිබඳ නියාමනයන් සහ ශල්‍යකර්මවලට පෙර හා පසුව විටමින් C ලබාදීම වැනි විකල්ප සෞඛ්‍ය ක්‍රමවේද පිළිබඳව පර්යේෂණ කිරීමටත්, පෝෂණ ද්‍රව්‍ය සඳහා පවතින අනවශ්‍ය ඖෂධ නියාමන බාධා ඉවත් කිරීමටත් මෙමගින් යෝජනා කර තිබේ.

රෝහල්වල පවතින අධික තදබදය සහ සෞඛ්‍ය සේවකයින්ගේ හිඟයට පිළියමක් ලෙස ඉදිරිපත් කර ඇති මෙම “Make NZ Healthy” වැඩපිළිවෙල, දීර්ඝකාලීන වශයෙන් රටේ සෞඛ්‍ය වියදම් අවම කරගනිමින් ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය ඉහළ නැංවීමට ලැබුණු විශාල පිටිවහලක් ලෙස සැලකේ.

0 Comments

Leave a Reply

Your email address will not be published.Required fields are marked *