← BACKHealth

පියයුරු සැත්කමෙන් පසු විඳි අලුගෝසු වදහිංසා!නවසීලන්තයෙන් වාර්තා වූ බරපතල වෛද්‍ය නොසැලකිල්ල…

BY Dhanush•PUBLISHED SEPTEMBER 21, 2026•1 MIN READ•0 COMMENTS

නවසීලන්තයේ පෞද්ගලික සායනයක සිදුකළ පියයුරු අඩුකිරීමේ සැත්කමකින් (breast reduction surgery) පසු බරපතල ලෙස රුධිරය වහනය වූ කාන්තාවක රෝහල් ගත නොකර හෝටල් කාමරයකට යැවූ ප්ලාස්ටික් ශල්‍යවෛද්‍යවරයෙකු රෝගී අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමේ වරදට වගකිව යුතු බවට මෙරට සෞඛ්‍ය හා විකලාංග කොමසාරිස් (HDC) නියෝග කර තිබේ. 2022 මැයි මාසයේදී සිදුවූ මෙම සිද්ධියේදී “A මහත්මිය” ලෙස හඳුන්වා ඇති අදාළ කාන්තාව විනාඩි 35 ක සැත්කමකින් පසු සිහිය එළඹෙන අතරතුරදී ඇගේ වම් පියයුරෙන් අධික ලෙස රුධිරය වහනය වී (haematoma) දැඩි ලෙස ඉදිමී ඇත.

කෙසේ වෙතත්, වෛද්‍යවරයා විසින් ඇයට නැවත පූර්ණ සිහිනැසුම් ඖෂධ ලබාදී ශල්‍යාගාරයට ගෙන යනවා වෙනුවට, සිහිය තිබියදීම ප්‍රදේශීය සිහිනැසුම් ඖෂධ (local anaesthetic) පමණක් ලබාදී ප්‍රතිකාර කර ඇති අතර, එය තමන්ට දැඩි මානසික හා ශාරීරික වදයක් වූ බව වින්දිත කාන්තාව ප්‍රකාශ කර තිබේ.

මෙවැනි බරපතල සංකූලතාවයක් පැවතියදීත්, එදින පස්වරු 4:45 ට පමණ ඇයව රෝහලකට ඇතුළත් නොකර නගරයේ motel කාමරයක් වෙත යැවීමට වෛද්‍යවරයා කටයුතු කර ඇත. නියෝජ්‍ය සෞඛ්‍ය කොමසාරිස් කැරොලයින් කූපර් (Carolyn Cooper) පෙන්වා දෙන්නේ, හදිසි සංකූලතාවයකින් පසු රෝගියෙකු රෝහල් ගත නොකර සාමාන්‍ය නවාතැනකට යැවීම, පසුව පැවැති වෛද්‍ය පරීක්ෂණ මගහැරීම සහ නිසි ලෙස වෛද්‍ය වාර්තා පවත්වා නොගැනීම මගින් වෛද්‍යවරයා සිය වගකීම් පැහැර හැර ඇති බවයි. සැත්කමින් සති කිහිපයකට පසුවද තුවාල පැසවීම සහ දැඩි වේදනාව නිසා අදාළ කාන්තාව නැවත වෛද්‍යවරයා හමුවට ගොස් ඇති අතර, එහිදීද නිසි වෛද්‍ය ප්‍රතිකාර ලබාදීමට වෛද්‍යවරයා අපොහොසත් වී තිබේ.

මෙම පරීක්ෂණ තීන්දුවත් සමඟ අදාළ ශල්‍යවෛද්‍යවරයාට වින්දිත කාන්තාවගෙන් නිල වශයෙන් ලිඛිත සමාව අයදින ලෙස HDC ආයතනය නියෝග කර ඇත. එමෙන්ම සංකූලතා ඇතිවන රෝගීන් අනිවාර්යයෙන් රෝහල් ගත කිරීම, පසුපරීක්ෂණ මගහරින රෝගීන් පිළිබඳව සොයා බැලීම සහ හදිසි අවස්ථා කළමනාකරණය සම්බන්ධයෙන් පෞද්ගලික සායනයේ පවතින නීතිරීති ජාතික ප්‍රමිතීන්ට අනුකූලව වහාම යාවත්කාලීන කිරීමටද පියවර ගෙන තිබේ.

0 Comments

Leave a Reply

Your email address will not be published.Required fields are marked *