
නවසීලන්තයේ බ්ලෙන්හයිම් හි පිහිටි Wairau රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකය දැඩි වෛද්‍යවරුන්ගේ හිඟය හේතුවෙන් බරපතල කඩා වැටීමේ අවදානමකට ලක්ව ඇති බව එහි ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරුන් පිරිසක් අනතුරු අඟවති. එම ඒකකයේ ජ්‍යෙෂ්ඨ හදිසි ප්‍රතිකාර වෛද්‍යවරුන්ගෙන් අඩකට ආසන්න පිරිසක්ම ප්‍රසිද්ධියේ අදහස් දක්වමින් කියා සිටින්නේ, පවතින හිඟපාඩු හමුවේ රෝගීන්ගේ ජීවිත පවා දැඩි අනතුරේ වැටී ඇති බවයි. වසර පහක පමණ කාලයක සිට ජ්‍යෙෂ්ඨ වෛද්‍ය සංගමය හරහා බලධාරීන් දැනුවත් කළද ප්‍රතිපාදන නොමැති බව කියමින් රෝහල් පරිපාලනය එම ඉල්ලීම් ප්‍රතික්ෂේප කර ඇති අතර, තත්ත්වය කොතරම් දරුණු වී ඇත්දැයි පවසන විශේෂඥ වෛද්‍ය නිකී රෝල්ටන් (Dr. Nikki Rolton) අනතුරු අඟවා සිටින්නේ හදිසි මෙහෙයුම් වෙනස්කම් නොකළහොත් නොසිතූ මොහොතක රෝගීන් මියයාමේ පවා ලොකු අවදානමක් පවතින බවයි.
දිනකට රෝගීන් 100කට අධික සංඛ්‍යාවක් ප්‍රතිකාර සඳහා පැමිණෙන මෙම හදිසි ප්‍රතිකාර ඒකකය, ආසන්නයේ පිහිටි දැඩි සත්කාර සායනයේ සේවා කාලය සීමා වීම හේතුවෙන්ද අමතර තදබදයකට මුහුණ දෙයි. මෙතෙක් කල් තාවකාලික වෛද්‍යවරුන් ගෙන්වා ගනිමින් සේවාවන් පවත්වාගෙන ගියද, පවතින අධික පිරිවැය සහ වෛද්‍යවරුන් සොයාගැනීමේ අපහසුව නිසා සතියේ ඇතැම් දිනවල සේවා මුර සම්පූර්ණයෙන්ම පුරප්පාඩුව පවතින බව විශේෂඥ වෛද්‍ය කේ හෝල් (Dr. Kay Hall) පවසයි.
සේවක හිඟය නිසා දැනට සිටින වෛද්‍යවරුන්ට අධික කාර්යබහුලත්වයකින් සහ දැඩි මානසික පීඩනයකින් කටයුතු කිරීමට සිදුව ඇති බවත්, එමගින් වෛද්‍ය අතපසුවීම් සිදුවීමේ ප්රවනතාව ඉහළ යන බවත් පෙන්වා දෙන විශේෂඥ වෛද්‍ය ස්ටුවර්ට් වොච්මන් (Dr. Stuart Watchman) කියා සිටින්නේ ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරුන්ගෙන් අඩක්ම පාහේ ඉදිරියේදී විශ්‍රාම යාමට නියමිත බැවින් පවතින අර්බුදය තවත් උග්‍ර විය හැකි බවයි. මේ සම්බන්ධයෙන් අදහස් දක්වන Health New Zealand ආයතනයේ නෙල්සන් සහ මාල්බරෝ ප්‍රදේශ භාර මෙහෙයුම් අධ්යක්ෂ ෆිල් වීබල් (Phil Wheble) ප්‍රකාශ කළේ, වෛද්‍යවරුන්ගේ ගැටලු කෙරෙහි අවධානය යොමු කර ඇති බවත් ස්ථිර ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරුන් බඳවා ගැනීමට කඩිනම් පියවර ගන්නා බවත්ය.

0 Comments