
නවසීලන්ත ආණ්ඩුව විසින් ඡන්දහිමි නාමලේඛනය ලියාපදිංචි කිරීමේ නීතිවලට සිදුකර ඇති ක්ෂණික වෙනස්කම් හේතුවෙන් ඉදිරි මැතිවරණයේදී ලක්ෂ සංඛ්‍යාත ජනතාවකට සිය ඡන්ද අයිතිය අහිමි වීමේ දැඩි අවදානමක් මතුව ඇති බව ලේබර් පක්ෂ නායක ක්‍රිස් හිප්කින්ස් අනතුරු අඟවයි. මැතිවරණයට පෙර පැවැත්වුණු විශේෂ මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් ඔහු කියා සිටියේ, පාලක සන්ධාන ආණ්ඩුව ගත් මෙම “අපරික්ෂාකාරී” තීරණය නිසා ඡන්දය ප්‍රකාශ කිරීමට පැමිණෙන ජනතාව තමන් නාමලේඛනයේ නොමැති බව දැනගැනීමෙන් පසු දැඩි ලෙස කෝපයට පත්වනු ඇති බවයි.
පසුගිය දෙසැම්බර් මාසයේ සම්මත කරන ලද නව පනතට අනුව, ඡන්දය පැවැත්වෙන දිනයේදී හෝ ඔක්තෝබර් 26 වනදා ආරම්භ වන පූර්ව ඡන්ද ප්‍රකාශ කිරීමේ (Advance Voting) සති දෙකක කාලය තුළදී ඡන්දය ලියාපදිංචි කිරීමේ හැකියාව සම්පූර්ණයෙන්ම අහෝසි කර ඇත. ඒ අනුව, මැතිවරණයට පෙර නියමිත අවසාන දිනය වන විට ලියාපදිංචි නොවූ හෝ ලිපිනයන් යාවත්කාලීන නොකළ ඡන්දදායකයන්ගේ ආසන මට්ටමේ ඡන්දය ප්‍රතික්ෂේප වන අතර, ඔවුන්ගේ පක්ෂයට හිමි ඡන්දය පමණක් ගණන් ගැනෙනු ඇත.
මෙම නීතිමය වෙනස්කම් පිළිබඳව ජන්දදායකයන් දැනුවත් කිරීමට මැතිවරණ කොමිෂන් සභාව (Electoral Commission) ප්‍රමාණවත් පියවර ගෙන නොමැති බවටද හිප්කින්ස් චෝදනා කළේය.
කෙසේ වෙතත්, මෙම ගැටලුව හමුවේ වුවද මැතිවරණ ප්‍රතිඵලය තමන් පිළිගන්නා බවත්, විදේශයන්හි මෙන් මැතිවරණයේ නීත්‍යානුකූලභාවය ප්‍රශ්න කිරීමට තමන් කටයුතු නොකරන බවත් ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය. පවතින නීති සංශෝධනය සාධාරණීකරණය කරමින් අධිකරණ අමාත්‍ය පෝල් ගෝල්ඩ්ස්මිත් ප්‍රකාශ කරන්නේ, අවසන් මොහොතේ සිදුවන ලියාපදිංචි කිරීම් හේතුවෙන් මැතිවරණ පද්ධතියට සහ නිලධාරීන්ට දැඩි බරක් පැටවෙන බැවින් මෙම පියවර ගත් බවයි. මීට අමතරව, ඉදිරි පාලනයක් යටතේ සමාජ ආයෝජන නියෝජිතායතනය අග්‍රාමාත්‍ය කාර්යාලය යටතට ගෙන ඒම සහ සෞඛ්‍ය ක්ෂේත්රයේ සේවක හිඟයට විසඳුමක් ලෙස අවම සේවක සංඛ්‍යාවක් පවත්වාගෙන යාමේ නීතිමය රාමුවක් සකස් කිරීම කෙරෙහි අවධානය යොමුකරන බවද හිප්කින්ස් පැවසීය.

0 Comments