← BACKHealth

දියුණු යැයි කියන රටක දුප්පත් වූ සෞඛ්‍ය පද්ධතිය!

BY Dhanush•PUBLISHED OCTOBER 20, 2026•1 MIN READ•0 COMMENTS

නවසීලන්තයේ සෞඛ්‍ය පද්ධතිය දැවැන්ත අර්බුදයකට ලක්ව ඇති බවට මෙරට ඡන්දදායකයින්ගෙන් 70%ක් හෙවත් දහස් ගණනක් පිළිගෙන ඇති බව නවතම මත විමසුම් ප්‍රතිඵල මඟින් අනාවරණය වී තිබේ. ඔක්තෝබර් 15 සහ 19 අතර කාලය තුළ දුරකථන සහ අන්තර්ජාලය හරහා සිදු කරන ලද මෙම සමීක්ෂණයට අනුව, රටේ මහජන සෞඛ්‍ය සේවාවන්හි පවතින ගැටලු පිළිබඳව මහජනතාව තුළ දැඩි කනස්සල්ලක් පවතින බව පැහැදිලි වේ. සමීක්ෂණයට ලක් වූවන්ගෙන් 28%ක් ප්‍රකාශ කර ඇත්තේ පද්ධතිය විවිධ අස්ථාවරත්වයන් වලට මුහුණ දී සිටියද එය සම්පූර්ණ අර්බුදයක නැති බවයි.

ග්‍රීන් පක්ෂයේ ආධාරකරුවන්ගෙන් 93%ක්, ලේබර් පක්ෂයේ ආධාරකරුවන්ගෙන් 79%ක්, Māori ප්‍රජාවෙන් 81%ක් සහ කාන්තාවන්ගෙන් 77%ක් මෙම සෞඛ්‍ය පද්ධතිය දැඩි අර්බුදයක පවතින බවට තදින්ම විශ්වාස කරති. කෙසේ වෙතත්, ACT පක්ෂය (54%), ජාතික පක්ෂය (44%) සහ වයස අවුරුදු 50ට වැඩි පිරිමින් (38%) මීට වඩා වෙනස් අදහස් දරමින් පවසා ඇත්තේ එය අභියෝගවලට මුහුණ දෙමින් පවතින තත්ත්වයක් පමණක් වන බවයි.

මෙම මතවිමසුම් ප්‍රතිඵලවලට ප්‍රතිචාර දක්වමින් ජාතික පක්ෂයේ සෞඛ්‍ය ප්‍රකාශක සිමෝන් බ්‍රවුන් (Simeon Brown) කියා සිටියේ වත්මන් ආණ්ඩුව බලයට පත්වන විට දැඩි අර්බුදකාරී සෞඛ්‍ය පද්ධතියක් උරුම වූවත්, හදිසි ප්‍රතිකාර ඒකකවල රෝගීන් රැඳී සිටින කාලය අවම කර ගැනීමට මේ වන විට සාර්ථක පියවර ගෙන ඇති බවයි. හිටපු අගමැති ක්‍රිස් හිප්කින්ස්ගේ (Chris Hipkins) පාලන සමයේ පැවති 68%ක මට්ටම සමඟ සැසඳීමේදී, වත්මන් පාලනය යටතේ රෝගීන්ට පැය 6ක් ඇතුළත ප්‍රතිකාර ලැබීමේ ප්‍රතිශතය 76% දක්වා වර්ධනය කර ඇති බව ඔහු පෙන්වා දුන්නේය.

කෙසේ වෙතත්, මෙම තත්ත්වය දැඩි ලෙස විවේචනය කරන ප්‍රධාන විපක්ෂය වන ලේබර් පක්ෂය, තමන් බලයට පත්වුවහොත් රෝහල්වල පවතින පීඩනය ලිහිල් කිරීම සඳහා පළමු දිනයේම පුළුල් විගණන පරීක්ෂණ දෙකක් සිදු කරන බවට පොරොන්දු වී තිබේ. රෝහල් කොරිඩෝවල රෝගීන්ට ප්‍රතිකාර ලැබීමට සිදුවීම, හදිසි ප්‍රතිකාර ඒකක තුළ සිදුවන මරණ සහ හෙදියන් විසින් හදිසි තත්ත්වයන් ප්‍රකාශ කිරීම වැනි බරපතල කරුණු සෞඛ්‍ය අමාත්‍යාංශයේ වත්මන් අසාර්ථකත්වය පෙන්වන බව ලේබර් පක්ෂයේ සෞඛ්‍ය ප්‍රකාශක අයේෂා වෙරල් (Ayesha Verrall) පෙන්වා දුන්නාය.

රෝගීන් වෙනුවෙන් පෙනී සිටින්නෙකු වන මැල්කම් මුල්හෝලන්ඩ් (Malcolm Mulholland) ද පෙන්වා දුන්නේ රට පුරා බහුතරයක් රෝහල්වල ප්‍රමාණවත් කාර්ය මණ්ඩලයක් සහ ඇඳන් නොමැතිකම හේතුවෙන් සෞඛ්‍ය ක්ෂේත්‍රය අතිශය අසීරු තත්ත්වයකට මුහුණ දී ඇති බවයි.

0 Comments

Leave a Reply

Your email address will not be published.Required fields are marked *