
දේශපාලන ක්ෂේත්රය උණුසුම් වෙමින් පවතින පසුබිමක, සමාජ මාධ්‍ය ඔස්සේ සුළුතර සහ විවිධ ජාතිකත්වයන් නියෝජනය කරන අපේක්ෂකයින්ට එල්ල වන දරුණු ජාතිවාදී හිංසන සහ මරණීය තර්ජන පිළිබඳව නවසීලන්තයෙන් තිගැස්ම දනවන තොරතුරු වාර්තා වේ. ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්ව සිටින අපේක්ෂකයින් රැසකට මුහුණ දීමට සිදුව ඇති මෙම අන්තර්ජාල අගතිය සහ තර්ජන හේතුවෙන්, බොහෝ දෙනෙකුට සිය ප්‍රචාරණ කටයුතු ආරක්ෂිත ක්‍රමවේද ඔස්සේ සංශෝධනය කිරීමට පවා සිදුව තිබේ.
Papakura ආසනය සඳහා ACT පක්ෂයෙන් තරග වදින බලපත්‍රලාභී ආගමන විගමන උපදේශකයෙකු වන මල්කියාට් සිං (Malkiat Singh), පසුගිය ජූනි මාසයේදී තමන්ට සහ පවුලේ අයට එල්ල වූ දරුණු මරණීය තර්ජන සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි කර මාස ගණනාවක් ගතවී තිබියදීත් තවමත් අවමානවලට ලක්වන බව පවසයි.
“ඔවුන් මා අතුරුදහන් කරන බවත්, නිවසට පැමිණ වෙඩි තබා ඝාතනය කරන බවත් කියමින් තර්ජනය කළා”
යනුවෙන් පවසන සිං, මෙම සිදුවීම් හමුවේ දැඩි මානසික පීඩනයකට ලක්ව ඇති අතර, මේ වන විට නිවාස වෙත ගොස් සිදුකරන ප්‍රචාරණ කටයුතු සඳහා තනිව නොගොස් ආරක්ෂාව සඳහා වෙනත් පිරිසක් සමඟ ගමන් කිරීමට පියවර ගෙන ඇත. එසේම, වයාරිකි (Waiariki) ආසනය සඳහා ග්‍රීන් පක්ෂයෙන් (Green Party) තරග වදින ටානියා වයිකාටෝ (Tania Waikato) සඳහන් කරන්නේ සිය සමාජ මාධ්‍ය ගිණුම්වලට ලැබෙන ප්‍රතිචාරවලින් සියයට 20ක්ම ජාතිවාදී අපහාස වන අතර, මවුරි (Māori) කාන්තාවක ලෙස ඇයට ලිංගික සහ පටු ආකල්පමය පරිභවයන්ට මුහුණ දීමට සිදුව ඇති බවයි.
දේශපාලනඥයින් සමාජ මාධ්‍ය හිංසනයෙන් ආරක්ෂා කිරීම සඳහා කටයුතු කරන Areto තාක්ෂණික ආයතනයේ ප්‍රධාන නිෂ්පාදන නිලධාරිනී ජැකලින් කොමර් (Jacqueline Comer) පෙන්වා දෙන්නේ, ඔවුන් පසුගිය මාස හය තුළ විශ්ලේෂණය කළ සටහන්වලින් සියයට 30ක්ම දරුණු ලෙස අපහාසාත්මක වූ බැවින් සඟවා දැමීමට සිදු වූ බවයි. එහිදී වඩාත්ම වැඩිප්රමාණයක් වාර්තා වී ඇත්තේ ජාතිවාදය, විදේශිකයන් කෙරෙහි පවතින බිය, ඉස්ලාම්භීතිකාව සහ විරෝධතාමය ප්‍රකාශයන් වන අතර, දෙවනුවට වැඩිම ප්‍රමාණයක් වාර්තා වී ඇත්තේ ලිංගිකත්වය පදනම් කරගත් අපහාසයන්ය.
Massey University මහාචාර්ය මොහාන් දත්තාගේ (Mohan Dutta) පර්යේෂණ නිරීක්ෂණවලට අනුව, පසුගිය වසර තුළ අන්තර්ජාලය ඔස්සේ ඉන්දියානු විරෝධී ජාතිවාදී ප්‍රකාශ තුන්ගුණයකින් වර්ධනය වී ඇති අතර මාඕරි විරෝධී ප්‍රකාශ ද ඉහළ ගොස් ඇත. පවතින ආර්ථික අර්බුද සහ අසමානතාව හමුවේ, ඇතැම් දේශපාලනඥයින්ගේ උත්තේජනය සහිතව සුළුතර ජනකොටස් සහ සංක්‍රමණිකයන් බිලිබාගැනීමේ ප්‍රවණතාවක් මතුව ඇති බවත්, නායකයින්ගේ වචන සමාජයේ පහළ මට්ටම් දක්වා ගලාගොස් මෙම තත්ත්වය තවදුරටත් උග්‍ර කරන බවත් අපේක්ෂකයෝ පෙන්වා දෙති.

0 Comments