← BACKPolitics

ජසින්ඩා අඩර්න්ගේ ජීවිතයේ අලුත් පිටුවක්!

BY Dhanush•PUBLISHED OCTOBER 27, 2026•1 MIN READ•0 COMMENTS

නවසීලන්තයේ හිටපු අගමැතිනියක වන Jacinda Ardern ඕස්ට්‍රේලියාවේ සිඩ්නි විශ්වවිද්‍යාලයේ (University of Sydney) මහජන සෞඛ්‍ය පීඨයේ විශේෂ මහාචාර්යවරියක (Professor of Practice) ලෙස නව තනතුරකට පත්ව සිටින්නීය. ඕක්ලන්ඩ්හි පිහිටි සිය නිවස අලෙවි කර මේ වසරේ මුලදී සිඩ්නි නුවර උතුරු වෙරළාසන්න ප්‍රදේශයේ පදිංචියට ගිය ඇය, සිය දේශපාලන ජීවිතයෙන් අනතුරුව ආරම්භ කළ අධ්‍යාපනික පියවරයන්හි තවත් එක් ඉදිරි පිම්මක් ලෙස මෙම පත්වීම සලකනු ලබයි. මෙය පූර්ණ කාලීන දේශන පැවැත්වීමේ තනතුරක් නොවන අතර, නායකත්වය, මහජන විශ්වාසය, සමාජීය ඒකාබද්ධතාව මෙන්ම ගෝලීය සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සාධාරණත්වය සහ සමානාත්මතාව තහවුරු කිරීම ආදී විෂයයන් රැසක් ඔස්සේ ශිෂ්‍යයන්ට සහ දේශකයන්ට උපදෙස් ලබාදීම, විශේෂ දේශන හා වැඩමුළු මෙහෙයවීම මෙහිදී ඇය විසින් සිදුකිරීමට නියමිතය.

දේශපාලන භූමිකාවෙන් සමුගැනීමෙන් අනතුරුව ගෝලීය අභියෝගයන්ට මුහුණ දිය හැකි සංවේදී හා සාර්ථක නායකත්වයක් ගොඩනඟන්නේ කෙසේද යන්න පිළිබඳව තමා වැඩි අවධානයක් යොමුකළ බවත්, සිඩ්නි විශ්වවිද්‍යාලයේ දීප්තිමත් ශිෂ්‍යයන් සහ ආචාර්ය මණ්ඩලය සමඟ එක්ව කටයුතු කිරීමට ලැබීම සතුටට කරුණක් බවත් අඩර්න් මහත්මිය සඳහන් කළාය.

එමෙන්ම, නවසීලන්තය දැඩි අර්බුදකාරී වකවානුවලට මුහුණ දුන් අවස්ථාවලදී ඇය පෙන්නුම් කළ මානුෂීය සහ ධෛර්ය සම්පන්න නායකත්වය අගය කළ විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය මාර්ක් ස්කොට් (Mark Scott), සංවේදී බව සහ ස්ථාවර භාවය යනු එකිනෙකට පරස්පර කරුණු නොව එකිනෙක ශක්තිමත් කරන ගුණාංග බව අඩර්න් මහත්මිය ප්‍රායෝගිකවම සනාථ කර ඇති බව පැවසීය. වසර පහකට වැඩි කාලයක් නවසීලන්ත අගමැතිනිය ලෙස සේවය කර 2023 ජනවාරි මාසයේදී දේශපාලනයෙන් සමුගත් ඇය, මීට පෙර හාවඩ් විශ්වවිද්‍යාලයේ ද පර්යේෂණාත්මක නායකත්ව තනතුරු දැරූ අතර 2025 වසරේදී ඇගේ චරිතාපදානයද ප්‍රකාශයට පත් කළාය.

0 Comments

Leave a Reply

Your email address will not be published.Required fields are marked *