← BACKHealth

වසරකට මරණ 200 කට වැඩි ගණනකට වගකියන නිහඬ ඝාතකයා!

BY Dhanush•PUBLISHED OCTOBER 30, 2026•1 MIN READ•0 COMMENTS

දශක ගණනාවකට පෙර “විශ්මිත නිෂ්පාදනයක්” ලෙස සැලකූ, ආනයනය පවා තහනම් කර ඇති ඇස්බැස්ටස් හේතුවෙන් නවසීලන්තය තුළ වසරකට තවමත් පුද්ගලයන් සිය ගණනක් ජීවිතක්ෂයට පත්වන බවට තොරතුරු වාර්තා වේ.

සේවා ස්ථාන ආශ්‍රිතව සිදුවන මරණ අතරින් වැඩිම පිරිසක් මියයන්නේ මෙමගින් වන අතර, පරණ නිවෙස්වල අලුත්වැඩියා කටයුතු හෝ කැපීම් කෙරුම්වල නිරතවන සාමාන්‍ය ජනතාව මෙන්ම කාර්මික ශිල්පීන් ද කිසිදු පූර්ව දැනුවත්භාවයකින් තොරව මෙම මාරාන්තික ධූලියට ගොදුරු වෙති.

ඉන්වර්කාගිල් (Invercargill) හි පදිංචි 49 හැවිරිදි ඇන්ඩෲ වින්ඩර් (Andrew Winder) දශක දෙකකට පෙර විදුලි කාර්මික ආධුනිකයෙකු ලෙස සේවය කරද්දී පැරණි විදුලි පුවරු සිය ගණනක් විදින ලදී. ඒවා තුළ ඇස්බැස්ටස් අඩංගු බව හෝ ඉන් එල්ලවන සෞඛ්‍ය තර්ජන පිළිබඳව එකල ඔහුට කිසිදු දැනුවත් කිරීමක් සිදු කර නොතිබිණි. අද වන විට ඔහු ඇස්බැස්ටස් මගින් වැළඳෙන ඉතා දුර්ලභ හා දරුණුතම පිළිකා තත්ත්වයක් වන සාකොමැටොයිඩ් මෙසොතීලියෝමා (sarcomatoid mesothelioma) රෝගයෙන් පෙළෙමින් මරණය හමුවේ සටන් වදී. වසර ගණනාවක ප්‍රතිශක්තිකරණ ප්‍රතිකාර අසාර්ථක වීමෙන් පසුව, තවත් සුළු කාලයක් හෝ ජීවත් වීමට අරමුදල් නොලැබෙන ඖෂධ ලබාගැනීමට ඔහුගේ පවුලේ අයට සිදුවී තිබේ.

වර්ක්සේෆ් (WorkSafe) ආයතනයේ දත්තවලට අනුව නවසීලන්තයේ වසරකට ඇස්බැස්ටස් නිසා පුද්ගලයන් 220 ක් පමණ මියයති. 2005 වසරේ සිට මේ දක්වා හදිසි අනතුරු වන්දි සංස්ථාව (ACC) මගින් රෝගීන් සඳහා නවසීලන්ත ඩොලර් මිලියන 320 කට වඩා ගෙවා ඇති අතර, පසුගිය වසරේ පමණක් ගෙවා ඇති වන්දි ප්‍රමාණය ඩොලර් මිලියන 25 කි. 1930 තරම් ඈත අතීතයේදීම ඇස්බැස්ටස් මගින් පෙනහළු රෝග ඇතිවන බව සොයාගෙන තිබුණද, නවසීලන්තය එහි සියලුම ආනයන තහනම් කළේ 2016 වසරේදීය. එබැවින් 2000 වසරට පෙර ඉදි කළ හෝ අලුත්වැඩියා කළ බොහෝ ගොඩනැගිලි තුළ තවමත් ඇස්බැස්ටස් පවතී.

ඇස්බැස්ටස් පවතින බිත්ති, සිවිලිම් හෝ ගොඩනැගිලි ද්‍රව්‍ය අලුත්වැඩියා කිරීමේදී හෝ විදීමේදී ඇසට නොපෙනෙන සියුම් කෙඳි ලක්ෂ ගණනින් වාතයට එකතු වේ. පෙනහළුවලට ඇතුළු වන මෙම කෙඳි වසර 15 සිට 40 දක්වා කාලයක් තිස්සේ ශරීරය තුළ රැඳී තිබී පසුව පිළිකා තත්ත්වයන් බවට පත්වේ. සෞඛ්‍ය විශේෂඥයන් අනතුරු අඟවන්නේ නිවසේ ස්වයං අලුත්වැඩියා කටයුතු (DIY) කිරීමට පෙර අදාළ ස්ථාන පරීක්ෂා කර සුදුසුකම් ලත් උපදේශකයන්ගේ සහාය ලබාගන්නා ලෙසයි. තමා මුහුණ දුන් මෙම ඛේදනීය තත්ත්වයෙන් අනාගත පරම්පරාව මුදාගැනීම සඳහා ජාතික මට්ටමේ දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කරන ලෙස ඇන්ඩෲ වින්ඩර් රජයෙන් ඉල්ලා සිටියි.

0 Comments

Leave a Reply

Your email address will not be published.Required fields are marked *