← BACKPolitics

නවසීලන්ත මැතිවරණ කොමිසමෙන් හදිසි නිවේදනයක්!

BY Dhanush•PUBLISHED NOVEMBER 4, 2026•1 MIN READ•0 COMMENTS

නවසීලන්ත මැතිවරණ කොමිසම (Electoral Commission) විසින් ඡන්ද හිමි නාමලේඛනය සැකසීමේදී සිදුවූ තාක්ෂණික හා පරිපාලනමය දෝෂයක් හේතුවෙන් පීඩාවට පත් පිරිස් වෙනුවෙන් හදිසි පියවර ගෙන තිබේ. ස්ථිර පදිංචි වීසා හිමියන්ගේ (residence class visa) ඡන්ද ලියාපදිංචි කිරීම් ක්‍රියාවලියේදී සිදුවූ මෙම අතපසුවීම පිළිබඳව අවධානය යොමු කළ මැතිවරණ කොමිසම, සුදුසුකම් ලබා සිටි 6,300කට ආසන්න පිරිසක් අලුතින් ඡන්ද හිමි නාමලේඛනයට එක් කිරීමට පියවර ගෙන ඇත.

මෙම පිරිස ලියාපදිංචි වීමේදී අනවශ්‍ය ලෙස ආගමන විගමන තත්ත්වය (immigration status) සනාථ කරන ලෙස ඉල්ලා සිටීම නිසා ඔවුන්ට ලියාපදිංචි වීමට බාධා මතුව තිබූ අතර, අදාළ දෝෂය හඳුනා ගැනීමෙන් පසු එම සියලු දෙනා මේ වන විට ඡන්ද හිමි නාමලේඛනයට ඇතුළත් කර ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව සලසා දී තිබේ.

කෙසේ වෙතත්, මෙම පරීක්ෂණ අතරතුර තවත් බරපතල කරුණක් අනාවරණය වී ඇත්තේ ඡන්ද හිමි නාමලේඛනයට ඇතුළත් නොවිය යුතු 1,200කට ආසන්න පිරිසක් ද ඊට ඇතුළත්ව සිට ඇති බවයි. තාවකාලික වීසා (temporary entry class visa) හිමියන් සහ වීසා කාලය ඉක්මවා ගිය පිරිස් මෙලෙස වැරදීමකින් ලියාපදිංචි වී ඇති අතර, නිල ඡන්ද ගණන් කිරීමට ප්‍රථම ඔවුන් නාමලේඛනයෙන් ඉවත් කිරීමට කොමිසම කටයුතු කරයි. යම් හෙයකින් මෙම පිරිසෙන් අයෙකු ඡන්දය ප්‍රකාශ කර ඇත්නම්, එම ඡන්දය බලපැවැත්වෙන්නේ නැත.

මෙම සිදුවීම පිළිබඳව කනගාටුව පළ කරන ප්‍රධාන මැතිවරණ නිලධාරී කාල් ලෙ ක්වෙස්න් (Karl Le Quesne) කියා සිටියේ, මෙම ක්‍රියාවලියේ බිඳවැටීම පිළිබඳව තමන් කනගාටු වන නමුත් මැතිවරණ නාමලේඛනයේ සමස්ත විශ්වාසනීයත්වය පිළිබඳව ජනතාවට බියක් තබා ගැනීමට අවශ්‍ය නැති බවයි. පීඩාවට පත් වූවන්ට විද්‍යුත් තැපෑල (help@enquiries.vote.nz), කෙටි පණිවිඩ (5101) සහ දුරකථන ඇමතුම් (0800 434 637) ඔස්සේ දැනුවත් කිරීමට කටයුතු කරමින් සිටින අතර, අනාගතයේදී මෙවැනි දෝෂයන් සිදු නොවීමට පියවර ගන්නා බවද ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.

0 Comments

Leave a Reply

Your email address will not be published.Required fields are marked *