
නවසීලන්තයේ තරුණ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක් වන හනා-රාව්හිතී මායිපි-ක්ලාක් (Hana-Rawhiti Maipi-Clarke) ඇමරිකාවේ Washington DC හි පැවැත්වීමට නියමිත IMF සම්බන්ධ වැදගත් සමුළුවකට සහභාගී වීම ප්‍රතික්ෂේප කර තිබේ. ඇය මෙම තීරණය ගෙන ඇත්තේ ඉන්ධන මිල ඉහළ යාම සහ ජනතාව මුහුණ දෙන ආර්ථික බර සලකා බැලීමෙනි.
මෙම සමුළුව “Young Global Parliamentarians Initiative” යටතේ ලොව තරුණ නීති සම්පාදකයන් කිහිපදෙනෙකුට පමණක් ලැබෙන විශේෂ අවස්ථාවකි. එහිදී ලෝක ආර්ථික ගැටළු, රාජ්‍ය නීති සහ ගෝලීය සහයෝගීතාවය ගැන සාකච්ඡා කිරීමට නියමිතව තිබුණි.
මෙවැනි අවස්ථාවක් ලැබීම ගෞරවයක් වුවද, ඇය පවසන්නේ “මේ මොහොතේ ජනතාව මුහුණ දෙන ගැටලු වඩා වැදගත්” බවයි.
මායිපි-ක්ලාක් පෙන්වා දුන්නේ, නවසීලන්තයේ බොහෝ පවුල් අද ඉන්ධන මිල ඉහළ යාම නිසා දැඩි ආර්ථික පීඩනයකට ලක්ව සිටින බවයි. කෙටි දුරක් ගමන් කිරීම පවා අපහසු වී ඇති අතර, එවැනි තත්ත්වයකදී විදේශ ගමන් වලට සහභාගී වීම සුදුසු නැති බව ඇය අවධාරණය කළාය.
විදේශ සමුළුවට නොගොස්, ඇය නවසීලන්තය තුළම දේශීය වැඩසටහන් වලට එක්වී තිබේ. විශේෂයෙන්ම, කුඩා ව්‍යාපාර කරන මාඕරි කාන්තාවන්ට සහය වීම සඳහා බැංකුවක් සමඟ එක්ව වැඩසටහනක් සංවිධානය කර ඇත.
ඇය පවසන්නේ, “ලෝකය ගැන කතා කිරීමට පෙර අපේම ජනතාවට උදව් කිරීම වැදගත්” බවයි.
මෙම තීරණය හරහා ඇය පෙන්වා දී ඇත්තේ, ගෝලීය ආර්ථික පද්ධතිවල බලපෑම් විශේෂයෙන්ම ස්වදේශීය ජනතාවට (Indigenous communities) වැඩි ලෙස දැනෙන බවයි. ඒ නිසා, දේශීය ගැටලු විසඳීම ප්රමුඛ කරගැනීම අත්‍යවශ්‍ය බව ඇය කියා සිටී.
දේශීය ජනතාව ප්රමුඛ කරගැනීම වගකීම් සහගත තරුණ නායකත්වයක වැදගත් ලක්ෂණයක් බව හනා-රාව්හිතී මායිපි-ක්ලාක් මෙයින් ලෝකයටම පෙන්වා දෙයි.

0 Comments