← BACKHealth

‘සුපර්-K’ උණ වෛරසය නවසීලන්තයට ආසන්න වෙයි.මෙවර ශීත සමය අභියෝගාත්මක විය හැකි බවට අනතුරු ඇගවීම්!

BY DhanushPUBLISHED APRIL 22, 20261 MIN READ0 COMMENTS

නවසීලන්තයේ සෞඛ්‍ය අංශයන් මෙවර ශීත කාලය තුළ දැඩි උණ ව්‍යාප්තියක් ඇතිවිය හැකි බවට අනතුරු අඟවා ඇත. එයට හේතුව වන්නේ “සුපර්-K” ලෙස හඳුන්වන නව උණ වෛරසයක් රටට ආසන්න වෙමින් පැවතීමයි.

මෙම වෛරසය Influenza A (H3N2) Subclade K ලෙස විද්‍යාත්මකව හැඳින්වෙන අතර, පසුගිය වසරේදී ඇමරිකාව සහ යුරෝපය පුරා වේගයෙන් පැතිර ගොස් තිබේ. පසුව එය ඕස්ට්‍රේලියාවට පැමිණ ඇති අතර, දැන් නවසීලන්තයට පැමිණීමට ඉඩ ඇති බව විශේෂඥයින් පවසයි.

මෙම “සුපර්-K” වෛරසය සාමාන්‍ය වෛරස ව්‍යාප්තියට වඩා වේගවත් බව විද්‍යාත්මක ආයතන සඳහන් කරයි. කෙසේ වෙතත්, විශේෂඥයින් පෙන්වා දෙන්නේ මෙම වෛරසය අනෙක් උණ විශේෂයන්ට වඩා බරපතල බවට තවමත් පැහැදිලි සාක්ෂි නොමැති බවයි. එහෙත්, වත්මන් එන්නත සමඟ එය සම්පූර්ණයෙන් ප්‍රතික්‍රියා කිරීම අඩු විය හැකි බව ද ඔවුන් අනාවරණය කරයි.

“සුපර්-K” වෛරසය 2025 අවසානයේ උතුරු අර්ධ ගෝලයෙන් මතුවී, අසාමාන්‍ය වේගයකින් ව්‍යාප්ත වීම ආරම්භ කළ බවට වාර්තා වේ. එය සාමාන්‍ය ශීත සමය ආරම්භ වීමට පෙරදීම පැතිර යාම ගැනත් සෞඛ්‍ය අංශවල අවධානයට ලක්ව තිබේ.

සෞඛ්‍ය බලධාරීන් පවසන්නේ මෙවර ශීත සමයේදී රෝගීන් සංඛ්‍යාව ඉහළ යාමට ඉඩ ඇති බැවින්, ජනතාවට ඉක්මනින් උණ එන්නත ලබාගැනීම ඉතා වැදගත් බවයි. 2026 වසර සඳහා සකස් කර ඇති එන්නත මෙම H3N2 වර්ගයේ වෛරසයට සම්බන්ධ වර්ගයන්ට යම් ආරක්ෂාවක් ලබාදෙන බව ද සඳහන් වේ.

ඉක්මනින් පැතිරෙන මෙම වෛරසය නිසා පාසල්, සේවා ස්ථාන සහ රෝහල් පද්ධතියට පීඩනයක් ඇතිවිය හැකි බවටද අනතුරු අඟවා ඇත. විශේෂයෙන්ම දරුවන්, වයස්ගත පුද්ගලයන් සහ දිගුකාලීන රෝග ඇති අය වැඩි අවදානමක පවතින බව සෞඛ්‍ය විශේෂඥයින් කියා සිටී.

සෞඛ්‍ය අංශ ජනතාවට උපදෙස් දී ඇත්තේ රෝග ලක්ෂණ ඇතිවූ විට

👉🏻විවේක ගැනීම,
👉🏻වෛද්‍ය උපදෙස් ලබාගැනීම,
👉🏻සහ සෞඛ්‍ය ආරක්ෂිත පියවර ගැනීම (අත්වැසුම්, මුහුණු ආවරණ භාවිතය)
යන උපදෙස් අනුගමනය කිරීමෙන් ව්‍යාප්තිය අවම කළ හැකි බවයි.

මෙම නව වෛරසය පිළිබඳව තවදුරටත් අධ්‍යයනය කරමින් සිටින අතර, එය මෙවර ශීත සමය කෙතරම් දැඩි වනු ඇතිද යන්න, ඉදිරි සති කිහිපයේදී අනාවරණය වන බව විශේෂඥයින් පවසයි.

0 Comments

Leave a Reply

Your email address will not be published.Required fields are marked *