← BACKTechnology

සඳ ජයගන්නා නාසා මෙහෙයුම පිටුපස සිටින ලාංකීය අභිමානය. ඉංජිනේරු ජනක විජේසිංහ!

BY Dhanush•PUBLISHED APRIL 23, 2026•1 MIN READ•0 COMMENTS

දශක පහකට වැඩි කාලයකට පසු යළිත් මිනිසෙකු සඳ වෙත රැගෙන යාමට නාසා (NASA) ආයතනය සැරසෙන දැවැන්ත “ආටෙමිස් II” (Artemis II) මෙහෙයුම ගැන මුළු ලෝකයම අවධානයෙන් සිටින මොහොතක, එම මෙහෙයුමේ හදවත බඳු වූ රොකට්ටුව නිර්මාණය කළ ප්‍රධානියෙකු ලෙස ශ්‍රී ලාංකික නාමයක් ජාත්‍යන්තරයට එක්ව තිබේ. ඔහු, ගම්පහින් බිහිවූ දක්ෂ ගුවන්යානා හා අභ්‍යවකාශ ඉංජිනේරුවෙකු වන ජනක විජේසිංහ මහතායි.

කුඩා කල (වයස අවුරුදු නවයේ සිට) අභ්‍යවකාශය ගැන සිහින දකිමින්, දිනෙක නාසා ආයතනයට සම්බන්ධ වීමේ අරමුණක් දරා සිටි ජනක මහතා, සිය මූලික අධ්‍යාපනය ඕමානයේ ශ්‍රී ලංකා පාසලකින් හදාරා පසුව ඕස්ට්‍රේලියාවේදී උසස් අධ්‍යාපනය සම්පූර්ණ කළේය. සිය වෘත්තීය ගමන ලොව සුප්‍රකට ‘බෝයිං’ (Boeing) සමාගමෙන් ආරම්භ කළ ඔහු, ලැබූ අත්දැකීම් ඔස්සේ 2020 වසරේදී Artemis ව්‍යාපෘතිය සමඟ අත්වැල් බැඳගැනීමට වාසනාව ලැබීය.

මෙම මෙහෙයුම සඳහා භාවිතා කරන දැවැන්ත SLS (Space Launch System) රොකට්ටුවේ වඩාත්ම තීරණාත්මක කොටස වන්නේ එහි ‘Core Stage’ හෙවත් මධ්‍යම කොටසයි. මෙම සංකීර්ණ කොටස නිර්මාණය කළ ඉංජිනේරු කණ්ඩායමේ නායකයෙකු ලෙස කටයුතු කරමින්, ජනක විජේසිංහ මහතා සිය දායකත්වය නාසා ආයතනය වෙත ලබා දී ඇත.

ආටෙමිස් II මෙහෙයුම මගින් සඳ වටා ගමන් කිරීමට නියමිත රීඩ් වයිස්මන්, වික්ටර් ග්ලෝවර්, ජෙරමි හැන්සන් සහ ක්‍රිස්ටිනා කොක් යන ගගනගාමීන් සිව්දෙනා, මෙහෙයුමට පෙර ඉංජිනේරු කණ්ඩායම හමුවූ අවස්ථාවේදී ජනක විජේසිංහ ඇතුළු පිරිසට සිය විශේෂ කෘතඥතාව පල කර තිබේ.
අතිශය අභියෝගාත්මක රැකියාවක නිරත වුවද, තම බිරිඳ සහ සිව් හැවිරිදි දියණිය සමඟ සතුටින් කාලය ගත කරන ජනක මහතා පවසන්නේ, තමා කුඩා කල දුටු සිහිනය සැබෑ කරගැනීමෙන් උපරිම සතුටක් ලබන බවයි.

මුළු මහත් ශ්‍රී ලංකාවටම ගෞරවයක් ගෙන දුන් ජනක විජේසිංහ ඉංජිනේරු මහතාට ලක්කිවි අපගේ උණුසුම් සුබපැතුම්!

0 Comments

Leave a Reply

Your email address will not be published.Required fields are marked *