← BACKHealth

වයියෝරු නගරයේ ජලය පානය කිරීම සපුරා තහනම්!

BY Dhanush•PUBLISHED JUNE 11, 2026•1 MIN READ•0 COMMENTS

නවසීලන්තයේ Waiouru හමුදා නගරයේ සහ ඒ අවට ප්‍රදේශවල නල ජලයට ශරීරයට අතිශය අහිතකර බැර ලෝහ වර්ග මුසු වී ඇති බව අනාවරණය වීමත් සමඟ, එම ජලය පානය කිරීමෙන් වළකින ලෙස වැසියන්ට හදිසි නියෝගයක් නිකුත් කර තිබේ. ආරක්ෂක අංශ විසින් නිතිපතා සිදු කළ ජල පරීක්ෂාවකදී, ජලයේ අඩංගු ඊයම් සහ ඇලුමිනියම් ප්‍රතිශතය ජාතික ආරක්ෂිත මට්ටමට වඩා පස් ගුණයකින් ඉහළ ගොස් ඇති බව තහවුරු වී ඇත.

ලෙඩ් සහ ඇලුමිනියම් වැනි බැර ලෝහ ශරීරගත වීමෙන් ස්නායු පද්ධතියට හානි සිදුවීම, වකුගඩු ආබාධ සහ කුඩා දරුවන්ගේ මොළයේ වර්ධනය බාල වීම වැනි බරපතළ සෞඛ්‍ය ගැටලු ඇති විය හැකිය. සෞඛ්‍ය බලධාරීන් අවධාරණය කරන්නේ ජලය උණු කිරීමෙන් මෙම රසායනික ද්‍රව්‍ය ඉවත් නොවන බැවින්, දැනට පවතින නල ජලය වැසිකිළි පිරිසිදු කිරීම් වැනි බාහිර කටයුතු සඳහා පමණක් භාවිතා කරන ලෙසයි.

රසායනික දූෂණය පිළිබඳ තොරතුරු සොයාගෙන සතියකට ආසන්න කාලයක් යනතුරු ජනතාව දැනුවත් කිරීමට පියවර නොගැනීම හේතුවෙන් නවසීලන්ත ආරක්ෂක බලකාය (NZDF) වැසියන්ගෙන් නිල වශයෙන් සමාව අයැද සිටියේය. මේ වන විට නගරයට අවශ්‍ය පිරිසිදු පානීය ජලය බෝතල් සහ ජල ටැංකි මඟින් සැපයීමට පියවර ගෙන ඇති අතර, ජල සැපයුම් පද්ධතිය සම්පූර්ණයෙන් පිරිසිදු කර ප්‍රමිතිය තහවුරු කරන තෙක් මෙම තහනම ක්‍රියාත්මක වේ.

0 Comments

Leave a Reply

Your email address will not be published.Required fields are marked *