
තාක්‍ෂණයේ දියුණුවත් සමඟ වර්තමාන සෙල්ලම් බඩු වෙළෙඳපොළ ආක්‍රමණය කිරීමට කෘත්‍රිම බුද්ධිය (AI) සමත්ව තිබේ. විශේෂයෙන්ම දරුවන් සමඟ සැබෑ ලෙසම සංවාදයේ යෙදිය හැකි, ප්‍රශ්නවලට පිළිතුරු දිය හැකි ‘AI Chatbot’ තාක්‍ෂණය සහිත ටෙඩී බෙයාර් (Teddies) වැනි සෙල්ලම් බඩු වයස අවුරුදු තුනක වැනි කුඩා දරුවන් ඉලක්ක කරගනිමින් නිපදවා ඇත. බැලූ බැල්මට මෙය දරුවාගේ අධ්‍යාපනයට සහ විනෝදයට හොඳ උපකාරයක් යැයි සිතුණද, ළමා මනෝවිද්‍යාඥයින් සහ තාක්‍ෂණික විශේෂඥයින් පවසන්නේ මෙමඟින් දරුවන්ට බරපතළ අවදානමක් ඇති විය හැකි බවයි.
🔴 දත්ත රහස්‍යභාවය සහ ඔත්තු බැලීමේ අවදානම (Data Privacy)
මෙම AI සෙල්ලම් බඩු ක්‍රියාත්මක වන්නේ අන්තර්ජාලය සහ මයික්‍රෆෝන ආධාරයෙනි. දරුවා සෙල්ලම් බඩුව සමඟ පවසන රහස්, ඔවුන්ගේ හැඟීම් සහ නිවසේ සිදුවන පෞද්ගලික සංවාද පවා මෙම උපකරණ හරහා පටිගත වී තෙවැනි පාර්ශවීය සමාගම්වල ‘සර්වර්’ (Servers) වෙත ගලා යා හැකියි. දරුවන්ගේ මෙම සංවේදී දත්ත අනාගතයේදී වෙළඳ දැන්වීම් සඳහා හෝ වෙනත් අවභාවිතාවන් සඳහා යොදාගැනීමේ විශාල අනතුරක් පවතී.
🔴 වැරදි තොරතුරු සහ හැසිරීම් රටා ඉගෙනීම.
සජීවීව කතා කරන Chatbot එකක් කුඩා දරුවෙකුට තේරුම් ගත නොහැකි, ඔවුන්ගේ වයසට නොගැළපෙන හෝ වැරදි තොරතුරු සැපයිය හැකිය. වැඩිහිටියෙකුගේ අධීක්ෂණයකින් තොරව මෙම සෙල්ලම් බඩු දරුවන්ට ලබා දීමෙන්, AI මඟින් ජනනය කරන (AI Generated) ඇතැම් නුසුදුසු අදහස් දරුවා සැබෑවක් ලෙස වැළඳ ගැනීමට ඇති ඉඩකඩ වැඩිය.
🔴 සැබෑ සබඳතා සහ පරිකල්පන ශක්තිය දුර්වල වීම.
සාම්ප්‍රදායික සෙල්ලම් බඩුවක් සමඟ සෙල්ලම් කිරීමේදී දරුවා කරන්නේ තමන්ගේම පරිකල්පනයෙන් (Imagination) කතාවක් ගොඩනඟා ගැනීමයි. නමුත් AI සෙල්ලම් බඩුවක් විසින්ම කතාව මෙහෙයවන විට දරුවාගේ නිර්මාණශීලී සිතීමේ හැකියාව අඩාල වේ. එමෙන්ම, සැබෑ දෙමාපියන් හෝ මිතුරන් සමඟ කතා කරනවා වෙනුවට දවස පුරා සෙල්ලම් බඩුවක් සමඟ චිත්තවේගීයව බැඳීම (Emotional attachment) තුළින් දරුවා සමාජයෙන් හුදෙකලා වීමේ ප්‍රවණතාවක් ඇති වේ.
විශේෂඥයින් අවධාරණය කරන්නේ තාක්‍ෂණය කෙතරම් දියුණු වුවත්, කුඩා දරුවෙකුගේ මනස හැඩගැස්වීමට අවශ්‍ය මනුෂ්‍ය ආදරය, ස්පර්ශය සහ සැබෑ සමාජ සබඳතා වෙනුවට කෘත්‍රිම බුද්ධිය ආදේශ කළ නොහැකි බවයි.

0 Comments