
ජපානයේ උසස් විද්‍යා හා තාක්ෂණ ආයතනයේ (JAIST) පර්යේෂකයන් කණ්ඩායමක් විසින් පරීක්ෂණාගාර මීයන් තුළ හටගත් පිළිකා සෛල සම්පූර්ණයෙන්ම විනාශ කළ හැකි සුවිශේෂී ස්වාභාවික බැක්ටීරියාවක් සොයා ගැනීමට සමත්ව තිබේ. ගෙම්බන්, සලමන්දාවන් සහ හූනන් වැනි සරපයන්ගේ බඩවැල්වලින් එකතු කරගත් බැක්ටීරියා ප්‍රභේද 45ක් සූක්ෂ්ම ලෙස පරීක්ෂාවට ලක් කිරීමෙන් අනතුරුව, ඔවුන් විසින් ‘Ewingella americana’ නම් බැක්ටීරියා ප්‍රභේදය මෙලෙස පිළිකා මර්දනය සඳහා වඩාත්ම සාර්ථක ප්‍රතිඵල පෙන්වන සාධකය ලෙස හඳුනාගෙන ඇත.
මෙම බැක්ටීරියාව ශිරා ගත කිරීම් (Intravenous dose) මගින් එකම එක මාත්‍රාවක් ලෙස ශරීරගත කළ විට, මීයන්ගේ ශරීරයේ තිබූ බඩවැල් ආශ්‍රිත පිළිකා ගෙඩි (Colorectal tumors) 100%ක්ම සම්පූර්ණයෙන්ම දියකර හැරීමට සමත් වී තිබේ. සාමාන්‍යයෙන් භාවිත කරන රසායනික චිකිත්සාවන් (Chemotherapy) සහ ප්‍රතිශක්තිකරණ ඖෂධ (Immune checkpoint inhibitors) සමඟ සැසඳීමේදී මෙම බැක්ටීරියාව අතිශය ඉහළ කාර්යක්ෂමතාවක් පෙන්නුම් කර ඇත. මෙම බැක්ටීරියාවේ ඇති විශේෂත්වය වන්නේ ශරීරයේ නිරෝගී අවයවවලට හානි නොකර, ඔක්සිජන් අවම මට්ටමක පවතින පිළිකා පටක තුළ පමණක් වේගයෙන් බෝ වෙමින් පිළිකා සෛල සෘජුවම විනාශ කිරීම සහ ශරීරයේ ස්වාභාවික ප්‍රතිශක්තිකරණ පද්ධතිය උත්තේජනය කිරීමයි. දින 60ක් පුරා සිදුකළ මෙම අධ්‍යයනයේදී මීයන්ට කිසිදු දිගුකාලීන අතුරු ආබාධයක් හෝ විෂ සහිත තත්ත්වයක් වාර්තා වී නොමැත.
කෙසේ වුවද, පර්යේෂකයන් අවධාරණය කරන්නේ මෙම සාර්ථක ප්‍රතිඵල දැනට පරීක්ෂණාගාර මීයන්ට පමණක් සීමා වන බැවින්, මිනිසුන් සඳහා සායනික පරීක්ෂණ ආරම්භ කිරීමට පෙර මේ පිළිබඳව තවදුරටත් පුළුල් විද්‍යාත්මක අධ්‍යයනයන් සිදු කළ යුතු බවයි.

0 Comments