
නවසීලන්තයේ දිගුකාලීනව පවතින ඖෂධ හිඟයට සහ සහනදායී ඖෂධ ප්‍රතිපාදන අර්බුදයට විසඳුම් ලබා දෙමින්, 2033 වසර වන විට ඕස්ට්‍රේලියාවේ ඖෂධ ප්‍රතිපාදන මට්ටමට ළඟා වීම සඳහා වන දැවැන්ත නව ප්‍රතිපත්තියක් ACT Party විසින් ප්‍රකාශයට පත් කර තිබේ. නවසීලන්තය දැනට සෞඛ්‍ය අයවැයෙන් ඖෂධ සඳහා වෙන් කරන්නේ සියයට 4.9 ක මුදලක් පමණක් වන අතර, එය ඕස්ට්‍රේලියාවේ සියයට 12.2 ක ප්‍රතිශතයට සහ OECD රටවල සියයට 13.3 ක සාමාන්‍යයට වඩා බෙහෙවින් අඩු අගයකි. මෙම පරතරය පියවීම සඳහා ඉදිරියේදී සෞඛ්‍ය අයවැයෙන් ඖෂධ සඳහා වෙන් කරන ප්‍රතිශතය වසරකට සියයට එක බැගින් ඉහළ නැංවීමට යෝජනා කර ඇති අතර, එමගින් ජීවිතාරක්ෂක ඖෂධ ලබා ගැනීමට නවසීලන්ත වැසියන්ට විදේශගත වීමට හෝ ජීවිත කාලය පුරා රැස්කළ මුදල් වියදම් කිරීමට සිදු වන තත්ත්වය අවසන් වන බව ACT පක්ෂයේ නායක සහ ඖෂධ මිලදී ගැනීමේ Pharmac ආයතනය භාර අමාත්‍ය ඩේවිඩ් සී මෝර් (David Seymour) පවසයි.
දෙරට අතර පවතින මෙම අසමානතාව නිසා ඕස්ට්‍රේලියාවේ රජයේ සහනාධාර යටතේ ලබා දෙන, නමුත් නවසීලන්තයේ ලබා නොදෙන ඖෂධ වර්ග 142 ක් පවතින බවත්, එයින් සියයට 38 ක්ම පිළිකා රෝගීන්ට අවශ්‍ය ඖෂධ බවත් ACT පක්ෂයේ සෞඛ්‍ය ප්‍රකාශක ටොඩ් ස්ටීවන්සන් (Todd Stephenson) පෙන්වා දෙයි. අයවැය සීමා නිසා අත්‍යවශ්‍ය ඖෂධ 139 ක් සඳහා අනුමැතිය දීමට නොහැකිව පවතින බවත්, මෙම නව සැලසුම යටතේ කිසිදු අලුත් බද්දක් නොපනවා, වසරකට සියයට 8 කින් වැඩිවන සෞඛ්‍ය අයවැය වර්ධනයෙන් කොටසක් ඖෂධ සඳහා නැවත වෙන් කරන බවත් සී මෝර් මහතා සඳහන් කළේය. මෙමගින් 2027/28 වන විට ඖෂධ ප්‍රතිපාදන ඩොලර් බිලියන 2 ක් දක්වාත්, 2033/34 වන විට ඩොලර් බිලියන 5.4 සිට 6.1 දක්වාත් ඉහළ යනු ඇති අතර, කෙටිකාලීන දේශපාලන තීන්දු වෙනුවට දීර්ඝකාලීන විසඳුමක් ලෙස මෙම ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමෙන් දහස් ගණනක් වන නවසීලන්ත රෝගීන්ට අඛණ්ඩව ජීවිතාරක්ෂක ඖෂධ ලබා ගැනීමට මග පෑදෙනු ඇත.

0 Comments