
එක්සත් රාජධානියේ පාරිභෝගිකයෙකු අන්තර්ජාලය හරහා භාණ්ඩයක් මිලදී ගැනීමට “Buy” බොත්තම ඔබන සැණින්, බ්‍රිතාන්‍යයේ විශාලතම ගබඩා පරිශ්‍රයන් තුළ කිසිවෙකුටත් නොපෙනෙන අපූරු තාක්ෂණික පෙරළියක් ආරම්භ වෙයි. භාණ්ඩය මිනිස් අතකට යෑමට පෙර, රිදී පැහැති කුඩා රොබෝ යන්ත්‍රයක් භාණ්ඩ රාක්ක යටින් ගමන් කර, මුළු රාක්කයම එසවූ සැණින් අදාළ සේවකයා වෙත ඉතා නිහඬව රැගෙන එයි. වරක් විද්‍යා ප්‍රබන්ධයකට පමණක් සීමා වී තිබූ මෙම දර්ශනය, අද වන විට බ්‍රිතාන්‍යයේ ප්‍රමුඛතම සිල්ලර වෙළඳ ජාලයන්හි දෛනික මෙහෙයුම් කටයුතුවල ජීවමාන යථාර්ථයක් බවට පත්ව තිබේ.
ටෙස්කෝ (Tesco), ඇස්ඩා (Asda) සහ නෙක්ස්ට් (Next) වැනි බ්‍රිතාන්‍යයේ දැවැන්තම සිල්ලර වෙළඳ සන්නාම රැසක්, සිය සැපයුම් දාමයන්හි කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සඳහා චීනයේ ‘ගීක් ප්ලස්’ (Geek+) සමාගම නිෂ්පාදනය කරන ස්වයංක්‍රීය චලන රොබෝ තාක්ෂණය (Autonomous Mobile Robots – AMRs) බහුලව භාවිත කිරීමට පටන්ගෙන ඇත. නැගෙනහිර චීනයේ හෙෆෙයි (Hefei) නගරයේ නිෂ්පාදනය කෙරෙන මෙම රොබෝවරුන්, හොංකොං කොටස් වෙළඳපොළේ ඉහළම තැනකට පැමිණි ගීක් ප්ලස් සමාගමේ ප්‍රධානතම අපනයනයක් වන අතර, වර්තමානයේ යුරෝපයේ ඔවුන්ගේ විශාලතම වෙළඳපොළ බවට පත්ව ඇත්තේ ද එක්සත් රාජධානියයි.
අතිවිශාල පිරිවැයක් දැරීමට සිදුවන ස්ථිර කන්වේයර් පද්ධති (conveyor systems) භාවිත කරන සාම්ප්‍රදායික ගබඩා තාක්ෂණයට වඩා වෙනස්ව, මෙම නවීන රොබෝවරුන් ක්‍රියාත්මක වන්නේ ගබඩා ගොඩනැගිලි පොළොවේ සවි කර ඇති සරල QR කේත (QR codes) සහ ආරක්ෂිත වැටවල් පදනම් කරගනිමිනි. මෙම රොබෝවරුන් සියයකට අධික ප්‍රමාණයක් ඉතා පහසුවෙන් හා ඉක්මනින් මෙහෙයුම් සඳහා යෙදවිය හැකි අතර, මෝෂන් ටෙක් (MotionTech) සමාගම හරහා එක්සත් රාජධානියේ ප්‍රධාන බෙදාහැරීමේ මධ්‍යස්ථාන 10 ක දැනටමත් ගීක් ප්ලස් රොබෝ යන්ත්‍ර 2,000 කට අධික සංඛ්‍යාවක් සේවයේ යොදවා ඇත. පවතින ශ්‍රම හිඟයට මුහුණ දෙමින්, භාණ්ඩ ගබඩා කිරීමේ ඉඩකඩ උපරිම ලෙස භාවිත කිරීමටත්, ඇණවුම් ඉටුකිරීමේ වේගය වැඩි කිරීමටත් මෙමඟින් මඟපෑදී ඇති බව මෝෂන් ටෙක් සමාගමේ ගිණුම් අධ්යක්ෂ බැරී පෙම්බර්ටන් (Barry Pemberton) පෙන්වා දෙයි.
මෙම රොබෝ තාක්ෂණය ඔස්සේ බ්‍රිතාන්‍යයේ පැවැති දීර්ඝකාලීන ඵලදායිතා අර්බුදයට ද වැදගත් විසඳුමක් ලැබී ඇත. ආර්ථික සහයෝගිතාව සහ සංවර්ධනය පිළිබඳ සංවිධානයේ (OECD) වාර්තාවලට අනුව, යුරෝපයේ විශාලතම ඉලෙක්ට්‍රොනික වාණිජ්‍ය වෙළඳපොළක් පැවතුණද, කාර්මික රොබෝ තාක්ෂණය භාවිතයේදී එක්සත් රාජධානිය සෙසු සංවර්ධිත රටවලට වඩා පසුපසින් සිටියේය. නමුදු වර්තමානයේ පවතින ආර්ථික අභියෝග සහ සේවක හිඟය හමුවේ මෙවැනි තාක්ෂණික පද්ධති යෙදවීම මඟින් බ්‍රිතාන්‍ය සිල්ලර ක්ෂේත්රයේ සමස්ත පලදායිතාව සැලකිය යුතු ලෙස ඉහළ ගොස් තිබේ.
කෙසේ වෙතත්, මෙම ස්වයංක්‍රීයකරණය හමුවේ සේවක සුබසාධනය සුරක්ෂිත විය යුතු බවට දේශීය වෘත්තීය සමිති අවධාරණය කරයි. මිලියන හයකට ආසන්න සේවක සංඛ්‍යාවක් නියෝජනය කරන බ්‍රිතාන්‍ය වෘත්තීය සමිති කොංග්‍රසය (Trades Union Congress – TUC) පෙන්වා දෙන්නේ, රොබෝ තාක්ෂණය යොදාගත යුත්තේ සේවකයින් රැකියාවෙන් ඉවත් කිරීමට නොව, රැකියාවේ සුරක්ෂිතතාවය හා ගුණාත්මකභාවය ඉහළ නැංවීමට බවයි. පාරිභෝගිකයින්ගේ ක්ෂණික බෙදාහැරීමේ ඉල්ලුම ඉහළ යද්දී, විදේශීය තාක්ෂණික සහයෝගීතාවය හරහා ක්‍රියාත්මක වන මෙම රොබෝ බලඇණිය බ්‍රිතාන්‍යයේ නූතන වෙළඳ ක්ෂේත්රයේ අනාගතය සම්පූර්ණයෙන්ම වෙනස් කරමින් සිටියි.

0 Comments