
නවසීලන්තය දෙසට හමා ආ බලවත් දක්ෂිණ ශීතල සුළං ධාරාවත් (southerly blast) සමඟ ඇති වූ දැඩි හිම පතනය හේතුවෙන් එරට දකුණු දූපතේ ප්‍රධාන මහා මාර්ග රැසක් වසා දැමීමට සිදුව ඇති අතර, රට පුරා උෂ්ණත්වය සෙල්සියස් අංශක ශූන්‍යයටත් වඩා පහළ බැස තිබේ. හදිසියේ ඇදහැළුණු අධික හිම පතනයත් සමඟ ප්‍රවාහන කටයුතුවලට දැඩි බාධා එල්ල වී ඇති අතර, දෛනික ගමනාගමනය සඳහා මහා මාර්ග භාවිත කරන ජනතාව මුළුමනින්ම පාහේ අසරණ තත්ත්වයට පත්ව සිටිති.
හිම සමුච්චය වීම සහ මාර්ග ලිස්සා යාමේ අවදානම හේතුවෙන් ප්‍රවාහන බලධාරීන් විසින් ප්‍රධාන කඳුකර මාර්ග කිහිපයක්ම වසා දැමීමට පියවර ගෙන ඇත. ඒ අනුව Lindis Pass හරහා වැටී ඇති අංක 8 රාජ්‍ය මාර්ගය, ක්‍රොම්වෙල් (
Cromwell සහ Queenstown අතර Kawarau Gorge හරහා වැටී ඇති අංක 6 රාජ්‍ය මාර්ගය මෙන්ම Palmerston සිට Kyeburn දක්වා වූ අංක 85 රාජ්‍ය මාර්ගය මෙලෙස වසා දමා ඇති අතර, හිම ඉවත් කිරීමේ යන්ත්‍ර යොදා ගනිමින් මාර්ග නැවත යථා තත්ත්වයට පත්කිරීමේ මෙහෙයුම් ක්‍රියාත්මක වේ. එසේම Central Otago, Canterbury සහ Southland හරහා විවෘතව පවතින මාර්ගවල ගමන් ගන්නා රියදුරන්ට දැඩි අවධානයෙන් පසුවන ලෙසත්, හිම සහිත මාර්ග සඳහා භාවිත කරන චේන් snow chains ළඟ තබාගන්නා ලෙසත් උපදෙස් දී ඇත.
MetService කාලගුණ විද්‍යා ආයතනය විසින් Arthur’s Pass, Porters Pass, Crown Range සහ Milford යන ප්‍රධාන කඳුකර මාර්ග සඳහා හිම පතන අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ. දකුණු දූපතේ මුහුදු මට්ටමට ආසන්න පහත් බිම් වෙත පවා හිම පතනය වී ඇති අතර, ඕක්ලන්ඩ් හි රාත්‍රී උෂ්ණත්වය සෙල්සියස් අංශක 3 දක්වා පහත වැටී ඇත. එසේම ක්වීන්ස්ටවුන්, වොනකා සහ ක්‍රයිස්ට්චර්ච් යන ප්‍රදේශවල උෂ්ණත්වය සෙල්සියස් අංශක ශූන්‍යයට වඩා පහළ බැස දැඩි ශීතල තත්ත්වයක් හටගෙන තිබේ. ඉදිරි දිනවලදී වැසි තත්ත්වය අඩුවුවද මෙම අධික ශීතල කාලගුණය තවදුරටත් පවතිනු ඇති බැවින්, ගමනාගමනයේදී ප්‍රවේශම් වන ලෙසත් කාලගුණ අනාවැකි පිළිබඳ විමසිලිමත් වන ලෙසත් බලධාරීන් මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

0 Comments