
නවසීලන්තයේ ඩනේඩීන් සභා රැස්වීමක් අතරතුර නාගරික මන්ත්‍රීවරියක සිය නිවසේ නාන කාමරයේ සිට අන්තර්ජාලය ඔස්සේ සජීවීව සම්බන්ධ වීම නිසා නොසිතූ අමුතුම ආකාරයේ සිදුවීමක් වාර්තා වී තිබේ. පළාත් පාලන ප්‍රතිසංස්කරණ පිළිබඳ වැදගත් සාකච්ඡාවක් සජීවීව විකාශය වෙමින් පවතිද්දී, නාගරික මන්ත්‍රී ජෝ ගේලර් (Jo Galer) මහත්මිය මෙලෙස කැමරාව ඉදිරියට පැමිණ සිටි අතර, ඇයට පසුපසින් වැනීමට දමා තිබූ රෙදි වැලක් පැහැදිලිව දර්ශනය වීම සභාවේ සිටි අන් පිරිසගේ දැඩි අවධානයට ලක් විය.
නිල කටයුතු ඉදිරියට පවත්වාගෙන යාමට පෙර වහාම ක්‍රියාත්මක වූ නගරාධිපතිනී සොෆී බාකර් (Sophie Barker) මහත්මිය, “අපට ඔයාගේ වනලා තියෙන රෙදි ටික පේනවා” යනුවෙන් පවසමින් මන්ත්‍රීවරියගේ කැමරා කෝණය වෙනස් කරගන්නා ලෙස සිනාසෙමින් මතක් කර දුන්නාය. කෙසේ වෙතත්, ඉන් නොසැලුණු මන්ත්‍රීවරිය “ඔව්, මගේ වනපු රෙදි ටිකත් පේනවා, මාවත් පේනවා” යනුවෙන් සන්සුන්ව පිළිතුරු දුන්නාය. මෙම වීඩියෝ දර්ශන අන්තර්ජාලයට එක්වීමත් සමඟ දහස් සංඛ්‍යාත පිරිසක් නැරඹූ අතර, පසුපසින් වූ දොර අසල අඳුරු සෙවනැල්ලක් චලනය වන අයුරු ද නරඹන්නන්ගේ හාස්‍යයට ලක් විය.
කොවිඩ් වසංගතයෙන් පසු මාර්ගගත (online) තාක්ෂණය ඔස්සේ රාජකාරි කිරීමේදී මුහුණ දීමට සිදුවන ප්‍රායෝගික ගැටලු සහ අපූරු අත්දැකීම් මෙමගින් නැවතත් මතක් කර දෙයි. මෙම ඩනේඩීන් නගර සභාවේම මන්ත්‍රීවරයෙකු 2020 වසරේදී උඩුකය සඳහා කබායක් පමණක් පැළඳ, යට ඇඳුම් රහිතව රාජකාරි සාකච්ඡාවකට සම්බන්ධ වීම ද මීට පෙර දැඩි ලෙස කතාබහට ලක්වූ සිදුවීමකි. නිවසේ සිට රාජකාරි කිරීමේදී පෞද්ගලික ජීවිතය සහ වෘත්තීය ජීවිතය අතර ඇති සිහින් සීමාව පසක් කරමින් මෙම සිදුවීම දේශපාලන ලෝකයේ මේ වනවිට විනෝදජනක පුවතක් බවට පත්ව ඇත.

0 Comments