
නවසීලන්තයේ පවතින සමානුපාතික නියෝජන ඡන්ද ක්‍රමය (MMP) සම්බන්ධයෙන් ඉදිරි පාර්ලිමේන්තු වාරයේදී ජනමත විචාරණයක් පවත්වන බවට අග්‍රාමාත්‍ය ක්‍රිස්ටෝෆර් ලක්සන් යළිත් වරක් තහවුරු කර තිබේ. ජ්‍යෙෂ්ඨ අමාත්‍ය ක්‍රිස් බිෂොප් විසින් මෙම පියවර සාමාන්‍ය අදහස් දැක්වීමක් පමණක් ලෙස හසුන්වා දීමට උත්සාහ කළද, අග්‍රාමාත්‍යවරයා සජීවී නාලිකා සාකච්ඡාවකට එක්වෙමින් අවධාරණය කළේ තම රජය නැවත බලයට පත්වුවහොත් පවතින ඡන්ද ක්‍රමය පිළිබඳ මහජන මතය විමසීමට පියවර ගන්නා බවයි. මෙම තීරණයත් සමඟ ඉදිරියේදී නවසීලන්තයේ දේශපාලන ක්ෂේත්රයේ දැවැන්ත වෙනසක් සිදුවීමේ ඉඩකඩක් නිර්මාණය වී ඇත.
1990 දශකයේ මුල් භාගයේදී පවත්වන ලද ජනමත විචාරණයකින් පසුව නවසීලන්තය මෙම සමානුපාතික නියෝජන ඡන්ද ක්‍රමය වෙත යොමු වූයේ පාර්ලිමේන්තුව තුළ වඩාත් සාධාරණ නියෝජනයක් තහවුරු කිරීමේ අරමුණිනි. 2011 වසරේදී ද මෙම ක්‍රමය පිළිබඳව සමාලෝචනයක් සහ ජනමත විචාරණයක් පැවැත්වූ අතර, එහිදී ද බහුතර කැමැත්ත හිමිවූයේ සමානුපාතික ක්‍රමය ඉදිරියටම පවත්වාගෙන යාමටයි. කෙසේ වෙතත්, ආණ්ඩු පිහිටුවීමේදී කුඩා දේශපාලන පක්ෂවල බලපෑම වැඩිවීම සහ හවුල්කාර ආණ්ඩුවල ස්ථාවරත්වය පිළිබඳව එල්ලවන විවේචන හේතුවෙන් නැවතත් ඡන්ද ක්‍රමය පිළිබඳ සංවාදය කරළියට පැමිණ ඇති අතර, ලක්සන් අගමැතිවරයාගේ මෙම ස්ථාවරය ඉදිරි මහ මැතිවරණයේ ප්‍රධාන මාතෘකාවක් වනු ඇත.

0 Comments