
කෘතිම බුද්ධිය භාවිත කරමින් රසායනාගාරයක් තුළ සම්පූර්ණයෙන්ම ක්‍රියාකාරී සහ ස්වයංක්‍රීයව ගුණනය විය හැකි අලුත්ම වෛරස වර්ග නිර්මාණය කිරීමට ස්ටැන්ෆෝර්ඩ් විශ්වවිද්‍යාලයේ පර්යේෂකයින් පිරිසක් සමත්ව තිබේ.
ප්‍රසිද්ධ ‘Science’ විද්‍යා සඟරාවේ පළ කර ඇති මෙම පර්යේෂණ වාර්තාවට අනුව, මෙය AI ආශ්‍රිත කෘතිම ජීව විද්‍යා ක්ෂේත්‍රයේ දැවැන්ත ඉදිරි පියවරක් ලෙස සැලකේ.
පර්යේෂණ කණ්ඩායම විසින් වෛරස, බැක්ටීරියා, ශාක සහ මිනිස් ජානමය සංකේත ඇසුරෙන් පුහුණු කරන ලද AI මාදිලි භාවිත කරමින් ‘බැක්ටීරියෝෆේජ්’ වර්ගයේ අලුත්ම වෛරස 16ක් නිර්මාණය කර ඇත.
මෙම වෛරස බැක්ටීරියාවලට පමණක් ආසාදනය වන අතර මිනිසාට කිසිදු හානියක් සිදු නොකරයි. ඖෂධවලට ප්‍රතිරෝධී වූ බැක්ටීරියා ආසාදන සඳහා සාර්ථක ප්‍රතිකාර ක්‍රමයක් වන ‘ෆේජ් තෙරපි’ කඩිනමින් සංවර්ධනය කිරීමට මෙම තාක්ෂණය අනාගතයේදී මහත් පිටුවහලක් වනු ඇතැයි විශ්වාස කෙරේ.
කෙසේ වෙතත්, මෙම තාක්ෂණික දියුණුවත් සමඟ දැවැන්ත ජෛව ආරක්ෂණ සහ ජෛව රක්ෂණ ගැටලු මතු විය හැකි බවට විද්‍යාඥයින් අනතුරු අඟවයි. නිසි පාලනයක් සහ ආරක්ෂිත ක්‍රමවේදයන් නොමැති වුවහොත්, අනාගතයේදී අනතුරුදායක වෛරස නිර්මාණය කිරීමට මෙය අනිසි ලෙස භාවිත වීමේ අවදානමක් පවතියි. මෙම අවදානම අවම කිරීම සඳහා පර්යේෂකයින් සඳහන් කළේ මිනිසාට ආසාදනය විය හැකි වෛරසවල දත්ත AI පුහුණු කිරීමේදී පූර්ණ ලෙස ඉවත් කළ බවත්, සියලුම පර්යේෂණ කටයුතු අධි ආරක්ෂිත රසායනාගාරයක් තුළ සිදුකළ බවත්ය.

0 Comments