
රෝගීන් වාර්තාගත ලෙස ඉහළ යාම හේතුවෙන් නවසීලන්තයේ ප්‍රධාන ප්‍රාදේශීය රෝහලක් වන Palmerston North Hospital දැඩි අර්බුදකාරී තත්ත්වයකට මුහුණ දී සිටින අතර, සුළු රෝගාබාධ සඳහා හදිසි ප්‍රතිකාර ඒකක (Emergency Departments) වෙත පැමිණීමෙන් වළකින ලෙස බලධාරීන් මහජනතාවගෙන් හදිසි ඉල්ලීමක් කර තිබේ.
රෝහල් කාර්ය මණ්ඩලයට දරාගත නොහැකි ලෙස පැමිණෙන රෝගීන් සංඛ්‍යාව ඉහළ යාම නිසා මෙම පියවර ගෙන ඇති අතර, ජීවිත තර්ජන සහිත දැඩි සෞඛ්‍ය ගැටලු ඇති අයට පමණක් ප්‍රමුඛතාව ලබාදෙන බවත්, සුළු රෝග සඳහා පැමිණෙන පිරිස්වලට දීර්ඝ වේලාවක් රැඳී සිටීමට සිදුවනු ඇති බවත් සෞඛ්‍ය අංශ දැනුම් දෙයි. මෙවැනි රෝගීන් සඳහා ප්‍රාදේශීය සාමාන්‍ය වෛද්‍ය සායන (GP clinics) සහ පැය 24 පුරා ක්‍රියාත්මක වෙනත් වෛද්‍ය සේවා භාවිත කරන ලෙස ද උපදෙස් දී ඇත.
සෞඛ්‍ය පරිපාලන අංශ පෙන්වා දෙන්නේ මෙම තත්ත්වය කාර්ය මණ්ඩල හිඟයක් නිසා නොව, එක දිගට දින කිහිපයක් තිස්සේ වාර්තා වූ හදිසි ශල්‍යකර්ම සහ දැඩි සෞඛ්‍ය ගැටලු සහිත රෝගීන්ගේ හදිසි පැමිණීම නිසා ඇති වූවක් බවයි. රෝහල් වාට්ටුවල ඇඳන් හිඟ වීම හේතුවෙන් හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබන රෝගීන් සාමාන්‍ය වාට්ටු වෙත යොමු කිරීම පමා වී ඇති අතර, එය බාහිර රෝගී අංශය දක්වාම දැඩි තදබදයක් නිර්මාණය වීමට හේතු වී තිබේ. කෙසේ වෙතත්, සෞඛ්‍ය වාර්තාවලට අනුව ප්‍රතිකාර සඳහා පැමිණි පිරිසෙන් 75% කට වැඩි ප්‍රමාණයකට පැය හයක ජාතික කාලරාමුව තුළ ප්‍රතිකාර ලබාදීමට පියවර ගෙන තිබුණ ද, සුළු රෝගීන් බොහෝ පිරිසකට පැය ගණනාවක් පෝලිම්වල රැඳී සිටීමට සිදු වී ඇත.
මෙම අර්බුදය නවසීලන්තය පුරා පවතින රෝහල් පද්ධතියේ යටිතල පහසුකම් පිළිබඳ නැවත වරක් ප්‍රශ්න මතුවීමට හේතු වී තිබේ. විශේෂයෙන්ම ළමුන් සහ තරුණ තරුණියන් රෝහල්ගත වීමේ සැලකිය යුතු වර්ධනයක් දක්නට ලැබෙන අතර, ප්‍රාදේශීය වෛද්‍ය සායනවල පවතින අධික ගාස්තු සහ පහසුකම් මෙන්ම කාලය පිළිබඳ පවතින සීමාවන් නිසා බොහෝ දෙනා අවසාන විකල්පය ලෙස රෝහල්වල හදිසි ප්‍රතිකාර ඒකක වෙත පැමිණීමට පෙළඹී සිටිති. ප්‍රාථමික සෞඛ්‍ය සේවා ශක්තිමත් නොකර රෝහල්වල පවතින මෙම දැඩි තදබදයට ස්ථිර විසඳුමක් ලබාදීම අභියෝගයක් බව ක්ෂේත්රයේ විශේෂඥයෝ පෙන්වා දෙති.

0 Comments