← BACKTechnology

විනාඩි 4න් චාජ් කළ හැකි ලුණු බැටරි!

BY DhanushPUBLISHED AUGUST 16, 20261 MIN READ0 COMMENTS

ලිතියම් බැටරි වෙනුවට අප දිනපතා ආහාරයට ගන්නා සාමාන්‍ය ලුණු සතු සොඩියම් භාවිත කරමින්, මිනිත්තු 4ක් වැනි කෙටි කාලයකදී සම්පූර්ණයෙන්ම චාජ් කළ හැකි නවතම බැටරි තාක්ෂණයක් හඳුන්වා දීමට චීනයේ පර්යේෂකයින් පිරිසක් සමත්ව සිටිති. වර්තමානයේ ස්මාර්ට්ෆෝන්, ඉලෙක්ට්‍රික් වාහන සහ සූර්ය බලශක්ති පද්ධති සඳහා බහුලව භාවිත වන ලිතියම් යනු සොයාගැනීමට අපහසු, අධික පිරිවැයක් යන ලෝහයක් වන අතර, ඊට සාපේක්ෂව සොඩියම් යනු පෘථිවියේ ඕනෑ තරම් පවතින අතිශය අඩු පිරිවැයකින් ලබාගත හැකි ද්‍රව්‍යයකි.

මෙතෙක් කල් සොඩියම් බැටරි තාක්ෂණයේ පැවැති ප්‍රධානතම ගැටලුව වූයේ ඒවා ඉක්මනින් රත්වීම සහ බැටරිය ඇතුළත ඇතිවන කුඩා ඉඳිකටු වැනි ස්ඵටික නිසා බැටරිය කෙටි කාලයකින් අක්‍රිය වීමයි. ඊට විසඳුම් ලෙස චීන විද්‍යාඥයින් විසින් විශේෂ ජෙල් ද්‍රවයක් එකතු කිරීමක් කර තිබේ. මෙමගින් සොඩියම් අයන චලනය වන වේගය වැඩි කරමින් විනාඩි 4ක ශීඝ්‍ර චාජ් වීමේ හැකියාව ලබා දෙන අතරම ඉලෙක්ට්‍රෝඩ වටා කුඩා ආරක්ෂිත පටලයක් සාදමින් අන්තරායකර ස්ඵටික සෑදීම සම්පූර්ණයෙන්ම වළක්වයි.

රසායනාගාර පරීක්ෂණ අතරතුරදී කිසිදු දෝෂයකින් තොරව එක දිගට පැය 6,000කට වඩා වැඩි ආයු කාලයක් පවත්වා ගැනීමට මෙම බැටරිය සමත්ව ඇති අතර, එහිදී නොනවත්වා චාජ් කරමින් සහ ඩිස්චාජ් කරමින් සිදුකළ පරීක්ෂණ සාර්ථකව නිමකර ඇත. එමෙන්ම, පර්යේෂකයින් සෑදූ නම්‍යශීලී මාදිලියේ බැටරි නොයෙක් වර නැමීමට ලක් කළද සාර්ථකව විදුලිය සැපයීමේ හැකියාව පෙන්නුම් කර තිබේ.

දැනට පවතින බැටරි නිෂ්පාදන කර්මාන්තශාලා වලම කිසිදු විශාල වෙනසකින් තොරව නිපදවිය හැකි මෙම නව සොඩියම් බැටරි තාක්ෂණය ඉදිරියේදී වාණිජමය වශයෙන් වෙළඳපොළට පැමිණීමත් සමඟ ඉලෙක්ට්‍රික් කාර්, ස්මාර්ට්ෆෝන් සහ සූර්ය බලශක්ති ගබඩාකරණ පද්ධති සඳහා යන පිරිවැය විශාල ලෙස පහත වැටෙනු ඇතැයි ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් පෙන්වා දී තිබේ.

0 Comments

Leave a Reply

Your email address will not be published.Required fields are marked *