← BACKPolitics

ප්‍රධාන පක්ෂ දෙකම පස්සට යද්දී ග්‍රීන් පක්ෂයෙන් නොසිතූ පෙරළියක්!

BY Dhanush•PUBLISHED SEPTEMBER 28, 2026•1 MIN READ•0 COMMENTS

නවසීලන්තයේ පැවැත්වීමට නියමිත මහා මැතිවරණයට පෙර මෙරට දේශපාලන කරළිය උඩුයටිකුරු කරමින්, ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකෙහි ජනප්‍රියතාව පහත වැටෙද්දී ග්‍රීන් (Green Party) පක්ෂය සිය ඉතිහාසයේ ඉහළම ජනප්‍රියතාව වාර්තා කිරීමට සමත්ව තිබේ. සැප්තැම්බර් 28 වන දින නිකුත් වූ නවතම ‘1News Verian’ මනාප සමීක්ෂණ වාර්තාවට අනුව, ග්‍රීන් පක්ෂයේ මනාප ප්‍රතිශතය 16% දක්වා ඉහළ ගොස් ඇති අතර, ප්‍රධාන දේශපාලන බලවේග වන නැෂනල් (National) සහ ලේබර් (Labour) පක්ෂ දෙකම 28% බැගින් ලබා ගනිමින් සම තත්ත්වයට පත්ව ඇත. වසර 25 කට වැඩි සමීක්ෂණ ඉතිහාසය තුළ ග්‍රීන් පක්ෂය මෙවැනි ඉහළ අගයක් වාර්තා කළ පළමු අවස්ථාව මෙය වන අතර, සාම්ප්‍රදායික ප්‍රධාන පක්ෂ දෙකම එක්ව ලබාගෙන ඇත්තේ සමස්ත ඡන්දවලින් 56% ක ප්‍රමාණයක් පමණි.

සැප්තැම්බර් 23 සිට 27 දක්වා ඡන්දදායකයින් 1,004 දෙනෙකු ඇසුරින් පැවැත්වූ මෙම සමීක්ෂණයට අනුව, ලේබර් පක්ෂය 28% දක්වා පහත බැස ඇත්තේ 2024 පෙබරවාරි මාසයෙන් පසු වාර්තා වූ අඩුම ජනප්‍රියතාව සටහන් කරමිනි. එසේම නැෂනල් පක්ෂය ද 28% දක්වා පහත වැටී ඇති අතර, එය 2021 වසරෙන් පසු එම පක්ෂය ලැබූ අඩුම ප්‍රතිශතයයි. ආසන බෙදීයාමේ පදනම අනුව බැලූ විට, ලේබර්, ග්‍රීන්, ටේ පාටි මවුරි (Te Pāti Māori) සහ Opportunity යන පක්ෂ එකතුවට ආසන 65 ක මෙහෙයුම් බලයක් හිමිවිය හැකි අතර, නැෂනල්, ඇක්ට් (ACT) සහ NZ First යන දක්ෂිණාංශික සන්ධානයට හිමිවන්නේ ආසන 59 ක් පමණි.

කෙසේ වෙතත්, අගමැති ධුරය සඳහා වන පෞද්ගලික ජනප්‍රියතාවයේදී නැෂනල් පක්ෂ නායක ක්‍රිස්ටෝෆර් ලක්සන් (Christopher Luxon) 19% ක් ලබා ගනිමින් තවදුරටත් ඉදිරියෙන් පසුවන අතර, ලේබර් පක්ෂ නායක ක්‍රිස් හිප්කින්ස් (Chris Hipkins) 14% දක්වා පහත වැටී තිබේ. ග්‍රීන් පක්ෂයේ සම-නායිකා ක්ලෝයි ස්වාබ්‍රික් (Chlöe Swarbrick) 8% ක ජනප්‍රියතාවක් ලබා ගනිමින් අනෙකුත් කුඩා පක්ෂ නායකයින් අභිබවා යාමට සමත් වූවාය. මෙම මනාප සමීක්ෂණ ප්‍රතිඵල ‘කුණුගොඩක්’ ලෙස NZ First නායක වින්ස්ටන් පීටර්ස් හඳුන්වා දුන් අතර, ලේබර් නායක හිප්කින්ස් අවධාරණය කළේ තමන්ට ශක්තිමත් ආණ්ඩුවක් හැදීමට නම් ලේබර් පක්ෂයේ ඡන්ද පදනම තවදුරටත් වැඩිවිය යුතු බවයි.

නොවැම්බර් 7 වනදා පැවැත්වෙන මැතිවරණයට පෙර ඔක්තෝබර් 26 වනදා සිට පූර්ව ඡන්ද විමසීම් ඇරඹීමට නියමිත අතර, තවමත් ඡන්දය ප්‍රකාශ කරන ආකාරය තීරණය නොකළ 13% ක පිරිස අවසන් ප්‍රතිඵලයට තීරණාත්මක ලෙස බලපානු ඇත.

0 Comments

Leave a Reply

Your email address will not be published.Required fields are marked *