
මැතිවරණ දූෂණ සහ ඡන්ද පත්‍රිකා සොරාගැනීමේ චෝදනා රැසකට පිළියම් යොදමින්, ඉදිරි 2028 ප්‍රදේශපාලන මැතිවරණයේ සිට තැපැල් මඟින් ඡන්දය ප්‍රකාශ කිරීමේ ක්‍රමය අහෝසි කර සාම්ප්‍රදායික ඡන්ද මධ්‍යස්ථාන (Polling booths) නැවත ස්ථාපිත කිරීමට ඕක්ලන්ඩ් නගර සභාව (Auckland Council) තීරණය කර තිබේ. පසුගිය අඟහරුවාදා පැවැති නගර සභා පාලක මණ්ඩල රැස්වීමේදී වැඩිඡන්ද 13 කින් මෙම තීරණාත්මක යෝජනාව සම්මත විය. ඒ අනුව, 1992 වසරෙන් පසුව තැපැල් ඡන්ද ක්‍රමයෙන් බැහැරව ඡන්ද මධ්‍යස්ථාන වෙත නැවත අවතීර්ණ වන නියුසීලන්තයේ පළමු පළාත් පාලන ආයතනය බවට ඕක්ලන්ඩ් නගර සභාව පත්වෙයි.
පසුගිය 2025 පළාත් පාලන මැතිවරණයේදී Ōtara-Papatoetoe සහ Manurewa යන බලප්‍රදේශයන්හි සිදු වූ බව කියන ඡන්ද වංචා සහ ඡන්ද පත්‍රිකා අතුරුදහන්වීම් මෙම තීරණයට ප්‍රධානතම හේතුව විය. විශේෂයෙන්ම Papatoetoe උපකොට්ඨාසයේ පැවැති මැතිවරණයේදී සිදු වූ බරපතල අක්‍රමිකතා හේතුවෙන් අදාළ ඡන්ද ප්‍රතිඵලය බලරහිත කිරීමට පසුව අධිකරණය නියෝග කළේය. මෙම තත්ත්වය හමුවේ ජනතාව තුළ තැපැල් ඡන්ද ක්‍රමය කෙරෙහි පැවැති විශ්වාසය සම්පූර්ණයෙන්ම බිඳවැටී ඇති බවත්, ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය සුරැකීමට නම් සෘජු ඡන්ද මධ්‍යස්ථාන ස්ථාපිත කිරීම අත්‍යවශ්‍ය බවත් පළාත් පාලන නියෝජිතයෝ පෙන්වා දෙති.
තැපැල් ඡන්ද ක්‍රමය සඳහා නවසීලන්ත ඩොලර් මිලියන 16 ක් වැය වන අතර, දින 10 සිට 20 දක්වා කාලයක් සඳහා ඡන්ද මධ්‍යස්ථාන පවත්වාගෙන යාමට ඩොලර් මිලියන 39 ක් වැය වන බව නිලධාරීන් ගණනය කර ඇත. කෙසේ වෙතත්, නගර සභාවේ මූල්‍ය බර අවම කරගනිමින් මැතිවරණයේ පාරදෘශ්‍යභාවය තහවුරු කිරීම සඳහා ඩොලර් මිලියන 20 ක උපරිම පිරිවැය සීමාවකට යටත්ව මෙම නව ඡන්ද මධ්‍යස්ථාන ක්‍රමය ක්‍රියාත්මක කිරීමට ඕක්ලන්ඩ් නගරාධිපති වේන් බ්‍රවුන් (Wayne Brown) ඇතුළු පාලනාධිකාරිය පියවර ගෙන තිබේ. ඉදිරි කාලයේදී පිරිවැය අවම කරගන්නා ආකාරය පිළිබඳ යෝජනා ලබන දෙසැම්බර් මාසයේදී ඉදිරිපත් කිරීමට නියමිත අතර, මෙය නවසීලන්ත මැතිවරණ ඉතිහාසයේ කැපී පෙනෙන සංධිස්ථානයක් වනු ඇත.

0 Comments