← BACKHealth

‘වේදනා නාශක පවා ලබාදෙන්න කෙනෙක් නෑ’රෝහල් ඇඳ මත අසරණ වූ පිළිකා රෝගී දරුවන්ගේ සංවේදී පුවත!

BY Dhanush•PUBLISHED OCTOBER 16, 2026•1 MIN READ•0 COMMENTS

නවසීලන්තයේ ස්ටාර්ෂිප් (Starship) ළමා රෝහලේ පවතින දැඩි හෙද හිඟය හේතුවෙන් පිළිකා රෝගයෙන් පෙළෙන කුඩා දරුවන්ට ලබාදෙන අත්‍යවශ්‍ය ප්‍රතිකාර සතියකින් පමණ ප්‍රමාද වන බවට සහ අතිශය වේදනාකාරී අවස්ථාවලදී පවා වේදනා නාශක ලබාදීමට හෙදියන් නොමැතිව එම දරුවන් මහත් අසරණතාවයට පත්වන බවට සංවේදී පුවතක් වාර්තා වේ. පසුගිය ජනවාරි මාසයේදී අධි අවදානම් සහිත ‘නියුරෝබ්ලාස්ටෝමා’ (neuroblastoma) නම් පිළිකා තත්ත්වයට ගොදුරු වූ අවුරුදු දෙක හමාරක් වයසැති සිලියන් (Cillian) නැමැති කුඩා දරුවාගේ මව වන ටානියා ලාපුඅහෝ (Tanya Lapu’aho) මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා සිටියේ, සිය පුතුගේ ඇටමිදුළු බද්ධ කිරීමේ (bone marrow transplant) තීරණාත්මක ප්‍රතිකාරය පවා විශේෂඥ හෙදියන්ගේ හිඟය නිසා සතියකින් ප්‍රමාද වූ බවයි.

දරුවා දැඩි වේදනාවෙන් කෑගසමින් සිටින අවස්ථාවලදී හෙද ඇමතුම් බොත්තම ඔබා විනාඩි 20 කටත් වඩා වැඩි කාලයක් බලා සිටීමට සිදු වූ බවත්, එක් අවස්ථාවක ලබාදෙමින් තිබූ වේදනා නාශක ඖෂධය සම්පූර්ණයෙන්ම අවසන් වී නව මාත්‍රාව ලබාදීමට හෙදියක් පැමිණෙන තෙක් දරුවා දැඩි වේදනාවෙන් පෙළුණු බවත් ඇය පවසන්නීය.

මෙම අර්බුදකාරී තත්ත්වය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍ය සිමියොන් බ්‍රවුන් (Simeon Brown) ප්‍රකාශ කර සිටියේ පුරප්පාඩු වූ ළමා රුධිර හා පිළිකා රෝග අංශයේ හෙද තනතුරු අට සඳහා බඳවා ගැනීම් සිදුකරමින් පවතින බවයි. කෙසේ වෙතත්, එම වාට්ටුවේ කටයුතු යථා තත්ත්වයට පත්කිරීමට තවත් මාස තුනක කාලයක් ගතවන බවත්, ඉදිරි මාස කිහිපය තුළ නව හෙදියන් හත්දෙනෙකු සේවයට එක්වීමට නියමිත බවත් නවසීලන්ත සෞඛ්‍ය බලධාරීන් (Health NZ) තහවුරු කර තිබේ.

මේ අතර, පවතින හෙද හිඟය හමුවේ නවසීලන්ත හෙද සංගමය (NZNO) පෙන්වා දෙන්නේ දීර්ඝ කාලයක සිට පවතින මෙම ක්‍රමවේදයේ දෝෂ සහ සැලසුම් නොමැතිකම හේතුවෙන් මෙලෙස කුඩා දරුවන්ගේ අත්‍යවශ්‍ය සෞඛ්‍ය සේවාවන් අඩාල වීම දැඩි කණගාටුවට කරුණක් බවයි.

0 Comments

Leave a Reply

Your email address will not be published.Required fields are marked *