
නවසීලන්ත මහ මැතිවරණයේ අවසන් අදියර උණුසුම් වෙමින් පවතින පසුබිමක, දේශපාලන පක්ෂ නායකයින් සහ අපේක්ෂකයින් ඡන්දදායකයින් දිනාගැනීමේ දැඩි සටනක නිරතව සිටිති. කල්තියා ඡන්දය ප්‍රකාශ කිරීමේ කටයුතු ආරම්භ වී ඇති අතර, දේශපාලන නායකයින් ප්‍රමුඛ මාධ්‍ය වැඩසටහන් හරහා සිය අවසන් ප්‍රතිපත්තිමය කරුණු ජනතාව හමුවේ තබමින් සිටින්නේ නොවිසඳුණු ඡන්ද පදනම තමන් වෙත නඹුරු කරගැනීමේ අරමුණෙනි. ප්‍රධන පක්ෂ කිහිපයකට නායකයන් අද දින සිය ඡන්දය භාවිතා කිරීම විශේෂත්වයකි.
මෙම තීරණාත්මක කාලසීමාව තුළ අපේක්ෂකයින්ගේ හැසිරීම් සහ විවිධ කණ්ඩායම් සමඟ පවතින සබඳතා පිළිබඳව ද සමාජය තුළ දැඩි සංවාදයක් නිර්මාණය වී ඇත. ජාතික පක්ෂයේ (National Party) අමාත්‍ය තාමා පොටාකා (Tama Potaka) පාතාල කල්ලියක සමාජිකයින් සමඟ සිටින ඡායාරූපයක් සම්බන්ධයෙන් මතුවූ චෝදනාවලදී, අගමැති ක්‍රිස්ටෝෆර් ලක්සන් (Christopher Luxon) සිය අමාත්‍යවරයා ආරක්ෂා කිරීමට ඉදිරිපත් විය. 2024 ජනවාරි මාසයේ පැවැති විශාල ප්‍රසිද්ධ උත්සවයකදී මෙම ඡායාරූපය ලබාගෙන ඇති බවත්, තම පක්ෂය සැමවිටම අපරාධකරුවන්ට එරෙහිව සහ වින්දිතයින් වෙනුවෙන් පෙනී සිටින බවත් ලක්සන් අවධාරණය කළේය.
ඡන්දදායකයින් ආකර්ෂණය කරගැනීම සඳහා ප්‍රධාන පක්ෂ රැසක් නව ආර්ථික සහ සුබසාධන යෝජනා ද ඉදිරිපත් කර තිබේ. ඒ අනුව, ඉන්ධන මත පනවා ඇති විමෝචන වෙළඳ ක්‍රමවේද (Emissions Trading Scheme – ETS) ගාස්තුව ඉවත් කර, පෙට්‍රල් ලීටරයකින් ශත 12ක් සහ ඩීසල් ලීටරයකින් ශත 14ක් වහාම අඩු කිරීමට පියවර ගන්නා බව නිව්සීලන්ඩ් ෆස්ට් (NZ First) පක්ෂයේ නායක වින්ස්ටන් පීටර්ස් (Winston Peters) ප්‍රකාශ කළේය. එමෙන්ම, 11 වන වසරේ ඉගෙනුම ලබන සෑම සිසුවෙකුටම මූල්‍ය සාක්ෂරතාව ලබාදීම සඳහා ඩොලර් 500ක ආයෝජන අරමුදලක් ලබාදෙන බවට ඇක්ට් (ACT) පක්ෂ නායක ඩේවිඩ් සී මෝර් (David Seymour) ප්‍රතිඥා දුන්නේය. මෙලෙස ඉදිරිපත් වන විවිධ යෝජනා සහ දේශපාලන පොරොන්දු හමුවේ, ඉදිරි නවසීලන්තයේ අනාගතය තීරණය කිරීමේ බලය මේ වන විට ඡන්දදායකයින් සතුව පවතී.

0 Comments