← BACKEnvironment

වැවෙන් රෙදි සෝදා – පඳුරු අස්සේ මලපහ කරන අහිකුණ්ටක සංචාරකයෝ!

BY Dhanush•PUBLISHED OCTOBER 31, 2026•1 MIN READ•0 COMMENTS

වොනකා වැව් ඉවුරේ (Lake Wānaka) බීකන් පොයින්ට් පාරේ (Beacon Point Road) නිදහස් කඳවුරු බැඳීමේ ස්ථාන කිහිපයක් හේතුවෙන් මහජන සෞඛ්‍යයට සහ පරිසරයට දැඩි තර්ජනයක් එල්ල වී ඇති බව පවසමින් ප්‍රදේශවාසීහු ඊට පූර්ණ තහනමක් පනවන ලෙස ඉල්ලා සිටිති.

සංචාරකයන් පඳුරු අතර මලපහ කිරීම, වැවෙන් රෙදි සේදීම, කුණු කසළ වැටවල් මත දැමීම සහ රථවාහන තදබදය උග්‍ර කිරීම යන කරුණු මුල් කරගනිමින් මෙම විරෝධතාව පැනනැඟී ඇත. ක්වීන්ස්ටවුන් ලේක්ස් දිස්ත්‍රික් සභාව (Queenstown Lakes District Council) මඟින් මෙම ප්‍රදේශයේ නවාතැන් ගැනීමට අවසර දී ඇත්තේ පාරිසරික සහ නාගරික තදබදය අවම කිරීමේ අරමුණින් වුවද, මෝටර් රථ සහ කැම්පර් වෑන් (camper vans) විශාල සංඛ්‍යාවක් පැමිණීම නිසා තත්ත්වය පාලනය කරගත නොහැකි වී තිබේ.

ටෙ අරාරෝවා මාවතට (Te Araroa Trail) අයත් මෙම තනි මංතීරුවේ එක් පසෙකින් නවාතැන් ගැනීමට ඇත්තේ ස්ථාන තුනක් පමණක් වුවත්, දිනපතා සවස් කාලයේදී කැම්පර් රථ 50 කට වැඩි සංඛ්‍යාවක් එම ස්ථාන අල්ලා ගැනීමට තරග වදින බව ප්‍රදේශවාසී සැන්ඩි හැසල්ඩයින් (Sandy Hazeldine) සඳහන් කරයි. සීමිත ඉඩකඩ නිසා බොහෝ පිරිසක් අනවසරයෙන් අවට ප්‍රදේශවල නතර වන අතර, පයින් ගමන් කරන්නන්ට සහ පාපැදිකරුවන්ට ද මෙයින් දැඩි බාධා එල්ල වේ. නිසි සනීපාරක්ෂක පහසුකම් නොමැතිකම නිසා සුනඛයන් පවා පඳුරු අතර ඇති මිනිස් මලපහ අසලට යන බවත්, පරිසරය දැඩි ලෙස අපවිත්‍ර වන බවත් ප්‍රදේශවාසීහු පෙන්වා දෙති.

පවතින නීති අනුව පළාත් පාලන ආයතනවලට කලාපය පුරාම නිදහස් කඳවුරු බැඳීම සම්පූර්ණයෙන්ම තහනම් කළ නොහැකි වුවද, අදාළ පනත් සංශෝධනය කරමින් නීති රීති පැනවීමට ක්වීන්ස්ටවුන් ලේක්ස් දිස්ත්‍රික් සභාව මේ වන විට පියවර ගනිමින් සිටී. ලුගේට් පාලම (Luggate Bridge) අසල පිහිටි සභාව සතු භූමිය හෝ සියලු පහසුකම් සහිත වෙනත් ගාස්තු සහිත කඳවුරු පරිශ්‍ර වෙත මෙම සංචාරකයන් යොමු කිරීම වඩාත් සුදුසු බව ප්‍රදේශවාසීන්ගේ අදහසයි. ඉදිරි ගිම්හාන සංචාරක සමය ආරම්භ වීමට ප්‍රථම වොනකා හි ස්වාභාවික රම්‍යතාව රැකගනිමින් මෙම ගැටලුවට ඉක්මන් විසඳුමක් ලබාදෙන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලා සිටී.

0 Comments

Leave a Reply

Your email address will not be published.Required fields are marked *