
පොදු බස් රථ සේවාවන්හි ඇති වූ කාර්මික දෝෂ සහ රියැදුරන්ගේ උදාසීනත්වය හමුවේ කොඳුඇට පෙළේ ආබාධයකට ලක්ව සිටින 60 හැවිරිදි කාන්තාවකට සිය විදුලි රෝද පුටුවෙන්ම කිලෝමීටර් 30ක දුරක් ගමන් කිරීමට සිදු වූ පුවතක් නවසීලන්තයෙන් වාර්තා වේ.
නවසීලන්තයේ ක්රයිස්ට්චර්ච් (Christchurch) හි පදිංචි ට්රේසි පීටර්ස් (Tracy Peters) නමැති මෙම කාන්තාව, කම්කරු දින රාජ්ය නිවාඩු දිනයේ රැංගෝරා (Rangiora) හි පැවැති උත්සවයකට සහභාගි වී නැවත නිවස බලා පැමිණීමට උත්සාහ කිරීමේදී මෙම අවාසනාවන්ත සිදුවීමට මුහුණ දී ඇත. ඇය ගමන් කළ පළමු බස් රථයේ විද්යුත් බැම්ම (ramp) අක්රිය වීම නිසා බස් රථය තුළම සිරවූ අතර, සේවකයෙකු එය යථා තත්ත්වයට පත් කරන තෙක් ඇයට ගිනි නිවන හමුදාවේ පවා සහාය පැතීමට සිදු විය. ඉන්පසුව පැමිණි දෙවන බස් රථයේ බැම්ම බිම සමඟ සමපාත නොවීම නිසා අනතුරක් වීමට ඉඩ තිබූ අතර, තෙවන බස් රථයේ රියැදුරා ඇයව බස් රථයට ගොඩකර ගැනීම සම්පූර්ණයෙන්ම ප්රතික්ෂේප කළේය.
මෙම අවස්ථාවේදී ප්රවාහන ආයතනයේ හදිසි ඇමතුම් අංකයට කතා කළද නිවාඩු දිනයක් බැවින් විකල්ප බස් හෝ ආබාධිතයන් සඳහා වන කුලී රථ සේවා (mobility taxi) කිසිවක් ක්රියාත්මක නොවන බව දැනුම් දී ඇත. තවත් බස් රථයක් එනතුරු මඟබලමින් නොසිටීමට තීරණය කළ ට්රේසි, සිය කිලෝ ග්රෑම් 186ක් බරැති විදුලි රෝද පුටුවේ බැටරිය ආසන්න ආපනශාලාවකින් පැයක් පමණ චාජ් කරගෙන පැය හතහමාරක් පුරා තද සුළඟ, බොරළු මාර්ග සහ අඩිපාරවල් ඔස්සේ තනිවම ක්රයිස්ට්චර්ච් බලා ගමන් කළාය.
ඇය සුරක්ෂිතව නිවසට පැමිණියද, මෙම දුෂ්කර ගමන නිසා ඇගේ රෝද පුටුවට හානි සිදු වී ඇති අතර ඇගේ පේෂි සංකෝචන තත්ත්වයද (muscle spasms) උග්ර වී ඇත. සිදුවීම සම්බන්ධයෙන් Kinetic බස් සමාගම සහ කැන්ටබරි ප්රාදේශීය සභාව (Canterbury Regional Council) පූර්ණ පරීක්ෂණයක් ආරම්භ කරමින් ට්රේසිගෙන් සමාව අයැද සිටින අතර, නවීන බස් රථවල බැම්ම මෝටර් රෝද පුටුවල බරට නැවී අක්රිය වීම පිළිබඳව නවසීලන්ත ස්පයිනල් ට්රස්ට් ආයතනයද දැඩි කනස්සල්ල පළ කර තිබේ.

0 Comments