← BACKImmigration Updates

ඔබේ අධ්‍යාපන ආයතනයත් නීතියට හසු වුණාද? PR එකට යන්න කලින් මේ දේ අනිවාර්යයෙන්ම කරන්න!

BY Dhanush•PUBLISHED NOVEMBER 3, 2026•1 MIN READ•0 COMMENTS

නවසීලන්තයේ ජාත්‍යන්තර අධ්‍යාපන ක්ෂේත්‍රයේ ගුණාත්මකභාවය ඉහළ නැංවීම සහ වීසා ක්‍රමවේදයන්හි සුරක්ෂිතභාවය තහවුරු කිරීමේ අරමුණින්, නවසීලන්ත සංක්‍රමණ දෙපාර්තමේන්තුව (Immigration New Zealand) විසින් මෑතකදී නව සංශෝධන මාලාවක් ක්‍රියාත්මක කර ඇති බව ඔබ දැනටමත් දැනුවත් ඇති.අධ්‍යාපන කටයුතු සඳහා මුල් තැන දෙමින් වීසා සුදුසුකම් සපිරීම තහවුරු කිරීම මෙම පියවරෙහි ප්‍රධාන අරමුණ බව ඔවුන් වැඩිදුරටත් සදහන් කර තිබේ. නමුත් මෙම නව රෙගුලාසි යටතේ අයදුම්කරුවන්ගේ ඉංග්‍රීසි භාෂා ප්‍රවීණතාව දැඩි ලෙස නිරීක්ෂණය කරන අතර, යම් අධ්‍යාපන ආයතනයක් සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වෙන්නේ නම් අදාළ වීසා ක්‍රියාවලිය තාවකාලිකව අත්හිටුවීමටද සංක්‍රමණ දෙපාර්තමේන්තුවට බලතල හිමිව වේ. මෙකී කාරණා හේතුවෙන් ඔබට ඉදිරියේදී ඇතිවිය හැකි ගැටළු කිහිපයක් පිළිබදව ඔබව දැනුවත් කිරීම මෙම ලිපියේ අරමුණයි.

මෑතකදී යම් යම් අධ්‍යාපන ආයතන සඳහා පනවන ලද තහනම් සහ පරීක්ෂණ හේතුවෙන් එකී ආයතනවල වීසා අයදුම් කළ සහ දැනට අධ්‍යයන කටයුතුවල නිරත වන සිසුන් දැඩි අපහසුතාවයකට ලක්ව සිටී. එපමණක් නොව, අදාළ ආයතනවලින් පාඨමාලා අවසන් කර ඉදිරියේදී ස්ථිර පදිංචිය (PR) සඳහා අයදුම් කිරීමට බලාපොරොත්තු වන සිසුන්ටද මෙයින් සැලකිය යුතු බලපෑමක් එල්ල වීමේ ප්‍රවණතාවයක් පවතී.

අභ්‍යන්තර ආරංචි මාර්ගවලට අනුව, මෙවැනි ප්‍රශ්නගත ආයතනවලින් සුදුසුකම් ලැබූ අයදුම්කරුවන්ගේ PR වීසා අයදුම්පත් පරීක්ෂා කිරීමේදී ඔවුන්ගේ ඉංග්‍රීසි භාෂා හැකියාව ඉතා දැඩි ලෙස සලකා බැලීමට පියවර ගෙන ඇති අතර, ඒ පිළිබඳව අවසාන තීරණය ගැනීමේ පූර්ණ බලය අදාළ වීසා නිලධාරියා (Case Officer) සතු වන බව හෙළිවිය.

එබැවින්, නවසීලන්තයේ සංක්‍රමණ නීති සහ ප්‍රතිපත්ති වඩවඩාත් සූක්ෂ්ම මෙන්ම දැඩි මට්ටමකට පත්වෙමින් පවතින මෙම වටපිටාව තුළ, හුදෙක් අධ්‍යාපන සහතික පත්‍ර මත පමණක් විශ්වාසය නොතබා ඔබගේ ඉංග්‍රීසි භාෂා ප්‍රවීණතාවය නිල මට්ටමින් (IELTS/PTE හරහා) තහවුරු කරගැනීම ඉදිරි අනාගතය වෙනුවෙන් තබන ප්‍රඥාගෝචර පියවරකි. අවසාන වශයෙන්, සංක්‍රමණ දෙපාර්තමේන්තුවේ තීරණාත්මක නිර්ණායක හමුවේ ඔබගේ ස්ථිර පදිංචිය පිළිබඳ සිහිනය ආරක්ෂා කරගැනීමට නම්, පූර්ව සූදානම, නීතිමය යාවත්කාලීන කිරීම් පිළිබඳ අවධානය සහ නිවැරදි භාෂා සුදුසුකම් සපයාගැනීම අත්‍යවශ්‍යයෙන්ම සිදුකළ යුත්තකි.

නවසීලන්තයේ සිටින මෙන්ම ඉදිරියේදී පැමිණීමට බලාපොරොත්තු වන සියලුම සිසුන්ගේ දැනුවත්භාවය සඳහා මෙම තොරතුරු බෙදාහදාගන්න. ඔබට ජය!

0 Comments

Leave a Reply

Your email address will not be published.Required fields are marked *