
නවසීලන්ත මහ මැතිවරණය අවසානයේදී, මෙරට දේශපාලන කරළියේ මතුව ඇති දුර්ලභ සංසිද්ධියක් හේතුවෙන් පාලක නැෂනල් පක්ෂයේ ජ්‍යෙෂ්ඨතම අමාත්‍යවරුන් සිව්දෙනෙකුටම පාර්ලිමේන්තු ආසන අහිමිවීමේ බරපතල තර්ජනයක් මතුව තිබේ. පක්ෂ ලැයිස්තුවෙන් (party list) පමණක් තරග කරන මුදල් අමාත්‍ය නිකොලා විලිස් (Nicola Willis), සභාග ආණ්ඩුවේ ප්‍රධාන අමාත්‍යවරයෙකු වන ක්‍රිස් බිෂොප් (Chris Bishop), අධිකරණ අමාත්‍ය පෝල් ගෝල්ඩ්ස්මිත් (Paul Goldsmith) සහ කථානායක ගෙරී බ්රවුන්ලි (Gerry Brownlee) යන ජ්‍යෙෂ්ඨයින්ට මෙම අවදානම එල්ල වී ඇත.
නවසීලන්තයේ පවතින මිශ්‍ර සමානුපාතික (MMP) ඡන්ද ක්‍රමය යටතේ, පක්ෂයකට හිමිවන මුළු ආසන ගණන තීරණය වන්නේ ලැබෙන පක්ෂ ඡන්ද (party vote) ප්‍රතිශතය මතය. එම ආසන ප්‍රමාණය ප්‍රථමයෙන් කඩඉම් ආසන ජයගත් මන්ත්‍රීවරුන්ගෙන් (electorate MPs) පිරවෙන අතර, ඉතිරිය පක්ෂ ලැයිස්තුවෙන් ලබා දෙයි. නමුත් යම් පක්ෂයක් තමන්ට හිමිවන මුළු ආසන සංඛ්‍යාවට වඩා වැඩි කඩඉම් ආසන ප්‍රමාණයක් ජයගතහොත්, එම අතිරේක ආසන අහිමි නොවන අතර එය ‘අතිරේක ආසන’ (overhang) තත්ත්වයක් ලෙස හඳුන්වමින් පාර්ලිමේන්තු ආසන සංඛ්‍යාව වැඩි කෙරේ.
මීට පෙර 2023 දී 3%ක ඡන්ද ප්‍රතිශතයක් ලැබූ ‘ටෙ පති මඕරි’ (Te Pāti Māori) පක්ෂය ආසන 6ක් ජයගනිමින් පාර්ලිමේන්තු ආසන 120 සීමාව 122 දක්වා වැඩි කළද, මෙවර ඉතිහාසයේ පළමු වතාවට ප්‍රධාන පක්ෂයකටම මෙලෙස ‘අතිරේක ආසන’ නිර්මාණය කිරීමට සිදුව ඇත. 2023 දී 38%ක් වූ නැෂනල් පක්ෂයේ ඡන්ද පදනම 29% දක්වා පහත වැටී ඇති අතර, එම ඡන්ද ලේබර් පක්ෂයට නොගොස් නැෂනල් පක්ෂයේ සභාග හවුල්කරුවන් වන NZ First සහ ACT පක්ෂ වෙත යොමු වී ඇත. එම පක්ෂ දෙකෙහි ආධාරකරුවන් පක්ෂ ඡන්දය තම පක්ෂවලට ලබා දී, ආසන ඡන්දය නැෂනල් පක්ෂයේ ප්රබලයන්ට ලබාදීමට පෙළඹීම නිසා නැෂනල් පක්ෂයට හිමිවන මුළු ආසන 37ම කඩඉම් ආසනවලින් පිරී යා හැකි බව පෙනේ. වික්ටර් කන්සල්ටින් (Victor Consulting) ආයතනයේ අධ්යක්ෂ ක්ලින්ට් ස්මිත් (Clint Smith) පවසන්නේ MMP ක්‍රමය යටතේ ජ්‍යෙෂ්ඨයන්ට පක්ෂ ලැයිස්තුවෙන් ලැබුණු ආරක්ෂාව මෙවර සම්පූර්ණයෙන්ම බිඳ වැටී ඇති බවයි.
මෙලෙස ඡන්දදායකයින් උපායමාර්ගිකව ඡන්දය භාවිත කිරීම හරහා පාර්ලිමේන්තුවේ නියෝජනය සහ බලතුලනය සම්පූර්ණයෙන්ම වෙනස් වීමේ තත්ත්වයක් මතුව තිබේ.

0 Comments