
ලෝකයේම අවධානය දිනාගත් Artemis II ගගනගාමී මෙහෙයුම අතරතුර, විද්‍යාත්මක සාර්ථකත්වයකට අමතරව හදවත කම්පා කරන සංවේදී සිදුවීමක් සිදුවුණා. ඒ සඳ මත ඇති සුවිශේෂී ආවාටයකට මියගිය ආදරණීය බිරිඳකගේ නම ලබාදීමට ගගනගාමීන් ගත් තීරණයයි.
මෙම මෙහෙයුමේ නායකයා වන Reid Wiseman ගේ බිරිඳ වූ Anne Carroll Taylor Wiseman 2020 දී පිළිකා රෝගයකින් ජීවිතයෙන් සමුගත්තා. මියයන මොහොතේ ඇයට හිතෙන්නෙ නැතුව ඇති ඇගේ ආදරණීය ස්වාමිපුරුෂයා ලෝකයේ මිනිසෙකු මෙතෙක් ගිය දුරම ගමන යයි කියල. ඉතින් මේ ආදරණීය සැමියා ඇය වෙනුවෙන් ඔහුට කළ හැකි වටිනාම දේ මේ ගමනෙදි කරනවා. සඳ මත තවමත් නිල වශයෙන් නම් නොකළ ආවාටයක් “Carroll” ලෙස නම් කිරීමට මේ ගගනගාමින් කණ්ඩායම යෝජනා කරනවා.
මෙම යෝජනාව ඉදිරිපත් කළේ ගගනගාමී Jeremy Hansen විසින්. ඔහු එය “සඳ මත දීප්තිමත් ස්ථානයක්” ලෙස හඳුන්වා, එය ඇයට සුදුසුම ගෞරවයක් බව සඳහන් කළා.
මෙම නම යෝජනා කිරීමෙන් පසුව, NASA විසින් නිකුත් කළ දර්ශනවල දැක්වුණේ ගගනගාමීන් එකිනෙකා වැළඳගෙන සංවේදීව කඳුළු සලමින් සිටින ආකාරයයි. මෙය විද්‍යාවේ සාර්ථකත්වය සොයා යන ගමනක් අතරතුර ඇතිවූ මනුෂ්‍ය හැඟීම් ඉතාමත් පැහැදිලිව දිස්වූ අවස්ථාවක් ලෙස ලෝකයම බලා සිටියා.
Artemis II යනු වසර 50කට පසු මිනිසුන් රැගෙන සඳ වටා ගමන් කළ ප්‍රථම මෙහෙයුමයි. මෙහි කණ්ඩායමට Victor Glover, Christina Koch සහ Jeremy Hansen ද ඇතුළත්. මෙම ගමනේදී ඔවුන් පෘථිවියෙන් බොහෝ දුරට ගමන් කරමින් ඉතිහාසයද යළි වෙනස් කළා.
මෙම ගමන අතරතුර, ගගනගාමීන් සඳ මතුපිට අද්භූත දසුන් නිරීක්ෂණය වුනා. එමෙන්ම ඔවුන් පෘථිවියෙන් පිටතදී සූර්යග්‍රහණයක්ද අත්විදීමට සමත් වුනා. එය ඔවුන්ට ඉතා විශේෂ අත්දැකීමක් වුනා.
“Carroll” යන නාමය සහ වෙනත් යෝජිත නාම තවමත් නිල වශයෙන් අනුමත කර නොමැති අතර, ඒ සඳහා අවසාන තීරණය International Astronomical Union විසින් ගනු ලබයි.
මෙම යානය මේ වනවිට යළි පෘථිවියට පැමිණෙමින් තිබෙන අතර, අප්‍රේල් 10 වනදා පැසිෆික් සාගරයේ, කැලිෆෝනියා වෙරළ ආසන්නයට පතිත කරමින් මෙහෙයුම නිමා කිරීමට නියමිතයි.
මෙම සාර්ථක මෙහෙයුම අවසන් වූ පසු, කාර්ය මණ්ඩලය White House හිදී හමුවීමට Donald Trump විසින් ආරාධනා කර තිබෙනවා. ඔහු ගගනගාමීන්ට දුරකථන ඇමතුමක් හරහා කතා කරමින්, ඔවුන්ගේ මෙහෙයුමට සිය ප්‍රශංසාවත් ගෞරවයත් පළ කර ඇති බව වැඩිදුරටත් වාර්තා වෙනවා.

0 Comments