
දීපාවලී උත්සවය සමරා නැවත පැමිණෙමින් සිටි ඉන්දියානු ජාතිකයන් තිදෙනෙකු නවසීලන්තයේ ඕක්ලන්ඩ් නුවර සිදුවූ දරුණු රිය අනතුරකින් ජීවිතක්ෂයට පත්ව තිබේ. ඉරිදා රාත්‍රී 10:15ට පමණ ටකානිනි හි ග්‍රේට් සවුත් පාරේ වටරවුමකදී පාලනය කරගත නොහැකි වූ මොවුන් ගමන් කළ රථය, අසල තිබූ බර්ගර්ෆුවෙල් (BurgerFuel) ආපනශාලාවේ ඉදිරිපස ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත. මියගිය පිරිස අතර මෑතකදී විවාහ වූ යුවළක්ද වන අතර, මොවුන් මනුරේවා හි සික් කෝවිලක පැවැති දීපාවලී සැමරුම් උත්සවයකට සහභාගී වී ආපසු යමින් සිටියදී විනාඩි කිහිපයක් ඇතුළත මෙම ඛේදවාචකයට මුහුණ පා තිබේ.
මෙසේ මියගොස් ඇත්තේ වයස අවුරුදු 29, 33 සහ 38 යන වයස්වල පසුවන, ඉන්දියාවේ පංජාබ් ප්‍රදේශයේ සිට පැමිණ ඕක්ලන්ඩ් හි එකට පදිංචිව සිටි පිරිසකි. රථය පැදවූ තැනැත්තා වසර හතක පමණ කාලයක සිට නවසීලන්තයේ තමන්ගේම ව්‍යාපාරයක් කරගෙන ගිය අයෙකු වන අතර, ඔහුගේ බිරිඳ විවාහයෙන් පසු නවසීලන්තයට පැමිණ ඇත්තේ මෑතකදීය. සඳුදා උදෑසන මොවුන් සේවයට වාර්තා නොකිරීම නිසා මිතුරන් කළ සොයාබැලීමේදී මෙම අවාසනාවන්ත පුවත හෙළිවී තිබේ. සිදුවීමෙන් ආපනශාලාව තුළ සිටි කිසිවෙකුටත් හානියක් සිදුව නොමැත.
සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මක වන අතර, මෘතදේහ නැවත ඉන්දියාවට යැවීම සඳහා අවශ්‍ය වන ඩොලර් 50,000ක පමණ මුදල සොයාගැනීමට උපකාරක අරමුදලක් (Givealittle fundraiser) ආරම්භ කිරීමට ප්‍රජා නායකයන් පියවර ගෙන ඇත. මෙම හදිසි වියෝවෙන් දැඩි කම්පනයට පත්ව සිටින පංජාබ් ප්‍රජාව සහ මිතුරන් එකතු වී අනතුර සිදුවූ ස්ථානයේ විශේෂ ආගමික වතාවත් පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

0 Comments