← BACKUncategorized

ණය බරින් මිදෙන්න විදේශගත වී පැසිෆික් දූපතක සිරවූ 50 හැවිරිදි ලාංකික කත!

BY Dhanush•PUBLISHED NOVEMBER 3, 2026•1 MIN READ•0 COMMENTS

නව ජීවිතයක් ආරම්භ කිරීමේ බලාපොරොත්තුවෙන් විදේශගතවූ 50 හැවිරිදි රුචිරා රණසිංහ නමැති ශ්‍රී ලාංකික කාන්තාව, රාජ්‍යතාන්ත්‍රික සහ වීසා ගැටලු හේතුවෙන් පැසිෆික් සාගරයේ පිහිටි කුක් දූපත් (Cook Islands) හි වසර තුනකට ආසන්න කාලයක් තිස්සේ සිරවී සිටින්නීය. ලංකාවේ පවත්වාගෙන ගිය ඇඟලුම් කර්මාන්තශාලාව පාඩුවීම නිසා ඇතිවූ ණය බරින් මිදීමට 2018 වසරේ හොංකොං හි ගෘහස්ථ සේවිකාවක ලෙස සේවය කළ ඇය, 2022 දෙසැම්බර් මස සංචාරක වීසා මත නවසීලන්තයට පැමිණියාය. පසුව එරටදී දේශපාලන රැකවරණ ඉල්ලමින් තාවකාලික රැකියා වීසාවක් ලබාගෙන ආපනශාලාවක සේවය කළද, ස්ථිර රැකියා වීසා ඉල්ලුම්පත ප්‍රතික්ෂේප වීමත් සමඟ වීසා උපදේශකයෙකුගේ උපදෙස් මත 2023 නොවැම්බර් 08 වන දින ඈ කුක් දූපත් වෙත ගොස් තිබුණි.

කෙසේ වෙතත්, මෙම තීරණය ඇගේ ගමනාගමනය සම්පූර්ණයෙන්ම අඩපණ කළ උගුලක් බවට පත් විය. නැවත ශ්‍රී ලංකාවට පැමිණීමට නම් නවසීලන්තය හෝ ඕස්ට්‍රේලියාව හරහා ගුවන් සංක්‍රමණ වීසා (transit visas) අවශ්‍ය වුවද, නවසීලන්ත ආගමන විගමන බලධාරීන් අවස්ථා තුනකදී සහ ඕස්ට්‍රේලියානු බලධාරීන් අවස්ථා හතරකදී ඇගේ සංක්‍රමණ වීසා ඉල්ලුම්පත් ප්‍රතික්ෂේප කර ඇත. ටහිටි හෝ හවායි හරහා වෙනත් විකල්ප මාර්ග භාවිත කිරීමට අවශ්‍ය ජෛවමිතික තොරතුරු (biometrics) ලබාදීමට නවසීලන්තයට ඇතුළු වීමටද ඇයට අවසර නොමැත.

මෙම අර්බුදය හමුවේ ඇගේ වයෝවෘද්ධ මව නිතර රෝගාතුර වන අතර, ඇගේ එකම පුතුද දැඩි ලෙස අසරණ වී සිටියි. කුක් දූපත්හි ආගමන විගමන ප්‍රධානී චෙරී ආතර් (Chere Arthur) සහ වෙලින්ටන්හි පිහිටි ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය ආරක්ෂිත සංක්‍රමණ ක්‍රමවේදයක් ඔස්සේ ඇයව නැවත ලංකාවට එවීම සඳහා මේ වන විට රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් මැදිහත් වෙමින් සිටිති.

0 Comments

Leave a Reply

Your email address will not be published.Required fields are marked *