
නවසීලන්ත බන්ධනාගාර තුළ රැඳවියන්ට ලබා දී තිබූ දුරකථන ඇමතුම් කාලසීමාව දැඩි ලෙස සීමා කිරීමට එරෙහිව, ජීවිතාන්තය දක්වා සිරදඬුවම් විඳින රැඳවියෙකු වන ඇනා බ්‍රවුන් (Anna Browne) අධිකරණ ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වී ඇති බව වාර්තා විය.
ඇනා බ්‍රවුන් 2017 වසරේදී සිය මිතුරියක වූ කාර්ලි ස්ටුවර්ට් (Carly Stewart) ඝාතනය කිරීම සම්බන්ධයෙන් වරදකරු වී ජීවිතාන්තය දක්වා සිරදඬුවම් ලබන්නියකි. එතෙක් බන්ධනාගාර තුළ රැඳවියන්ට දිනකට පැය තුනක් දක්වා තම පවුලේ සාමාජිකයන් සමඟ දුරකථනයෙන් කතා කිරීමට අවස්ථාව තිබුණද, 2024 අගභාගයේදී බන්ධනාගාර දෙපාර්තමේන්තුව එම කාලය මිනිත්තු 30 ක් දක්වා අඩු කිරීමට තීරණය කළේය.
🔴බ්‍රවුන්ගේ තර්කය
ඇනා බ්‍රවුන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥ ටොම් පවෙල් (Tom Powell) මහාධිකරණය හමුවේ ප්‍රකාශ කළේ මෙම තීරණය අත්තනෝමතික සහ අසාධාරණ එකක් බවයි.
බ්‍රවුන් හට දරුවන් හය දෙනෙකු සහ මුණුබුරු මිණිබිරියන් හත් දෙනෙකු සිටින අතර, මිනිත්තු 30ක කාලය ඔවුන් සියලුදෙනා සමග සබඳතා පවත්වා ගැනීමට ප්‍රමාණවත් නොවන බව ඇය පවසයි.
දිනපතා තම මව සමඟ කතා කිරීමට පුරුදුව සිටි ඇගේ කුඩා දරුවන්ට මෙම තීරණය දැඩි මානසික පීඩනයක් එල්ල කර ඇති බව නීතිඥවරයා අවධාරණය කළේය.
🔴බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ස්ථාවරය
දෙපාර්තමේන්තුව වෙනුවෙන් කරුණු දැක්වූ නීතිඥ ජෙනීවිව් ටේලර් (Genevieve Taylor) මෙම සීමා කිරීම සාධාරණීකරණය කරමින් පවසන්නේ:
සුළු පිරිසක් දුරකථන කාලය අත්පත් කර ගැනීම නිසා අනෙකුත් රැඳවියන්ට දුරකථන පහසුකම් භාවිතා කිරීමට ඇති අවස්ථාව අහිමි වන බව පෙනී ගොස් තිබේ.
ඇනා බ්‍රවුන් බන්ධනාගාරයේ වැඩිම කාලයක් දුරකථනය භාවිතා කරන රැඳවියන් 10 දෙනා අතර සිටින බවත්, මෙම නව නීතිය මගින් සියලු දෙනාට සාධාරණ කාලයක් බෙදී යන බවත් ඇය පැවසුවාය.
ඒ වගේම දුරකථන භාවිතය සම්බන්ධයෙන් රැඳවියන් අතර ඇති වන ආරවුල් සහ ප්‍රචණ්ඩකාරී තත්ත්වයන් පාලනය කිරීම මෙහි තවත් අරමුණක් බව දෙපාර්තමේන්තුව පවසයි.
🔴මෙම සිදුවීම පිටුපස ඇති නීතිමය තත්ත්වය.
නීතිඥ පවෙල් පවසන්නේ බන්ධනාගාර දෙපාර්තමේන්තුව මෙම තීරණය ගැනීමට පෙර රැඳවියන්ගේ පවුල් පසුබිම හෝ මාඕරි සංස්කෘතික සබඳතා (Whānau connections) පිළිබඳව නිසි අවධානයක් යොමු කර නොමැති බවයි. නවසීලන්තයේ සිරගතව සිටින මවුරි ජනතාවගෙන් 60% කට පමණ කුඩා දරුවන් සිටියි.
නමුත් බන්ධනාගාර නීතිවලට අනුව රැඳවියෙකුට සතියකට අවම වශයෙන් විනාඩි 5ක දුරකථන කාලයක් හිමිවිය යුතු වුවද, දෙපාර්තමේන්තුව පවසන්නේ තමන් දිනකට විනාඩි 30ක් ලබාදීම හරහා එම අවම අවශ්‍යතාව ඉක්මවා කටයුතු කර ඇති බවයි.
කෙසේවෙතත් මෙම නඩුව සම්බන්ධයෙන් ඉදිරි අධිකරණ තීන්දුව ප්‍රකාශයට පත් කිරීමට නියමිත අතර, එය නවසීලන්ත බන්ධනාගාර පද්ධතියේ රැඳවියන්ගේ අයිතිවාසිකම් සහ පවුල් සබඳතා පිළිබඳ නැවත කතාබහක් ඇති කර තිබේ.

0 Comments