
සිය පළමු දරුවාගේ උපතට සති කිහිපයකට පෙර වීසා බලපත්‍රය හිමිවීමත් සමඟ, මාස පහක් පුරා පැවති දැඩි නීතිමය සටනකින් ජයගත් ඕක්ලන්ඩ් පවුලක් එම ජයග්‍රහණය “ලොතරැයියක් දිනුවාක් මෙන්” සමරමින් සිටිති.
ෂැන්ටෙල් නේරා (Shantelle Neyra) සහ ඇයගේ සහකරු ගුර්ජීත් සිං (Gurjeet Singh) පසුගිය කාලය පුරාම පසුවූයේ දැඩි අවිනිශ්චිතතාවයකිනි. ඒ, ඔවුන්ගේ දියණිය වන මීරාගේ (Mira) උපත වෙනුවෙන් ඉන්දියාවේ සිට නවසීලන්තයට පැමිණීමට ගුර්ජීත්ට අවශ්‍ය සංචාරක වීසා බලපත්‍රය නවසීලන්ත ආගමන විගමන දෙපාර්තමේන්තුව (INZ) විසින් අනුමත කරන තෙක්ය.
වසර දෙකකට පෙර අන්තර්ජාලය හරහා හඳුනාගත් මෙම යුවළ පසුව ඉන්දියාවේ සහ බාලි හි කාලය ගත කර ඇති අතර, ගුර්ජීත්ගේ වීසා බලපත්‍රය සඳහා ඉල්ලුම් කළේ පසුගිය වසරේ නත්තලට පෙරය. කල්තියා අයදුම් කළද, මාස හතරක් ගතවන තෙක් අමතර ලියකියවිලි ඉල්ලා සිටීම හේතුවෙන් එම ක්‍රියාවලිය ප්‍රමාධ විය.
ගර්භණී සමයේ වැළඳෙන දියවැඩියාව (Gestational Diabetes) හේතුවෙන් අධික අවදානම් සහිත තත්ත්වයක පසුවූ නේරාට මෙම ප්‍රමාදය දැඩි මානසික පීඩනයක් විය. වෙන්ව සිටි කාලය තුළ ගුර්ජීත් දිනපතා වීඩියෝ ඇමතුම් හරහා ඇයට සහය වූ අතර, නේරාගේ අනෙකුත් දරුවන්ගේ අධ්‍යාපන කටයුතුවලට ද දුරස්ථව සිට උදවු කළේය.
මෙම ගැටලුව සම්බන්ධයෙන් මාධ්‍ය විසින් විමසීම් කර දින දෙකකට පසුව විශාල වෙනසක් සිදු විය. තම නීතිඥවරයාගෙන් ලැබුණු ඇමතුමකින් වීසා බලපත්‍රය අවසානයේ අනුමත වූ බව නේරා දැනගත්තාය.
“මම ගොඩක් ඇඬුවා—ඒ සතුටට වගේම ඇතිවුණු සහනයට. ඔහුට මුළු ගර්භණී කාලයම මගහැරුණා. ස්කෑන් පරීක්ෂණ මගහැරුණා. මම අසනීප වුණ වෙලාවට මගේ ළඟ ඉන්න බැරි වුණා… මට නම් මේක හරියට ජැක්පොට් එකක් ඇදුනා වගේ,” නේරා මාධ්‍යට පැවසුවාය.
මෙම ප්‍රමාදය නිසා පවුලට ඇති වූ පීඩනය පිළිබඳව නවසීලන්ත ආගමන විගමන දෙපාර්තමේන්තුව සිය කණගාටුව පළ කළේය. අයදුම්පත් විශාල ප්‍රමාණයක් ලැබීම, අමතර තොරතුරු අවශ්‍ය වීම හෝ එහි ඇති සංකීර්ණභාවය මත මෙලෙස කාලය ගතවිය හැකි බව ඔවුන් ප්‍රකාශ කළහ.
ගුර්ජීත් සිං නුදුරේදීම නවසීලන්තයට පැමිණීමට නියමිතය. ඔහු පැමිණ සති දෙකකින් ඔවුන්ගේ දියණිය උපත ලැබීමට නියමිත අතර, ඔවුන්ගේ වාසනාවට, පළමු වතාවට පවුලේ සැමට මෙවැනි වැදගත් අවස්ථාවකදී එකට සිටීමට අවස්ථාව ලැබෙනු ඇත.

0 Comments